40. දර්ශනවිශුද්ධි ඥානය
කිසෙයින් සියලු සඞ්ඛතාසඞ්ඛතධර්මයන් ගේ ඒකසඞ්ග්රහත්ව ය ද කාමච්ඡන්දාදීන්ගේ නානාත්වය ද නෛෂ්ක්රම්යාදීන්ගේ ඒකත්වය ද ප්රතිවේධ කිරීමෙහි ප්රඥාව දර්ශනවිශුද්ධි ඥාන වෙයි යත්:
සබ්බධම්මානං යනු: පඤ්චස්කන්ධයෝ යැ ... අපර්ය්යාපන්නධර්මයෝ යි.
එකසඞ්ගහතා යනු: දොළොස් අයුරෙකින් සියලු සඞ්ඛතාසඞ්ඛතධර්මයෝ ඒකසඞ්ඛ්යායෙන් පිරිසිඳුනාලදහ: විද්යමානස්වභාවයෙනැ අනාත්මස්වභාවයෙනැ සත්යස්වභාවයෙනැ ප්රතිවේධ කළයුතු ස්වභාවයෙනැ අභිජානනස්වභාවයෙනැ පරිජානනස්වභාවයෙනැ (ස්වභාවධාරණාදි) ධර්මාර්ත්ථයෙනැ (නිජ්ජීවතාදි) ධාතුස්වභාවයෙනැ දතහැකි ස්වභාවයෙනැ සාක්ෂාත්කර්තව්යස්වභාවයෙනැ ස්පර්ශ කළයුතු ස්වභාවයෙනැ අභිසමයස්වභාවයෙනි. මේ දොළෙස් අයුරින් සියලු සඞ්ඛතාසඞ්ඛතධර්මයෝ එක සඞ්ඛ්යායෙන් පිරිසිඳුනාලදහ.
නානත්තේකත්තං යනු: කාමච්ඡන්දය නානාත්ව යැ නෛෂ්ක්රම්යය ඒකත්ව යැ ... සියලු ක්ලේශයෝ නානාත්ව යැ රහත්මඟ ඒකත්ව යි.
පරිවේධේ යනු: දුඃඛසත්යය පරිඥාප්රතිවේධයෙන් ප්රතිවේධ කෙරෙයි. සමුදයසත්යය ප්රහාණප්රතිවේධයෙන් ප්රතිවේධ කෙරෙයි. නිරෝධසත්යය සාක්ෂාත්ක්රියාප්රතිවේධයෙන් ප්රතිවේධ කෙරෙයි. මාර්ගසත්යය භාවනාප්රතිවෙධයෙන් ප්රතිවේධ කෙරේ.
දස්සනවිසුද්ධි යනු: ස්රෝතාපත්තිමාර්ගක්ෂණයෙහි (ඥාන) දර්ශනය විශුද්ධ වෙයි. ස්රෝතාපත්තිඵලක්ෂණයෙහි ඥානදර්ශනය විශුද්ධ වූයේ වෙයි. සකෘදාගාමීමාර්ගක්ෂණයෙහි දර්ශනය විශුද්ධ වෙයි. සකෘදාගාමිඵලක්ෂණයෙහි දර්ශනය විශුද්ධ වූයේ වෙයි. අනාගාමිමාර්ගක්ෂණයෙහි දර්ශනය විශුද්ධ වෙයි. අනාගාමීඵලක්ෂණයෙහි දර්ශනය විශුද්ධ වූයේ වෙයි. අර්හන්මාර්ගක්ෂණයෙහි දර්ශනය විශුද්ධ වෙයි. අර්හත්ඵලක්ෂණයෙහි දර්ශනය විශුද්ධ වූයේ වේ.
ඒ දර්ශනවිශුද්ධිඥානය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි ‘සබ්බධම්මානං ඒකසඞ්ගහතානානත්තේකත්තපටිවේධේ පඤ්ඤා දස්සනවිසුද්ධිඤාණං’ යී.
දර්ශනවිශුද්ධිඥානනිර්දේශ යි.
41. ක්ෂාන්ති ඥානය
කිසෙයින් (රූපස්කන්ධාදිය අනිත්යාදිවශයෙන්) විදිතභාවයෙන් පැවැති ප්රඥාව ක්ෂාන්තිඥාන වෙයි යත්:
රූපය අනිත්ය විසින් (අනිත්යානුදර්ශනයෙන්) දන්නාලද යැ. රූපය දුඃඛ විසින් (දුඃඛානුදර්ශනයෙන්) දන්නාලද යැ. රූපය අනාත්ම විසින් (අනාත්මානුදර්ශනයෙන්) දන්නාලද යැ. යම් රූපයෙක් (අනිත්යාදි විසින්) දන්නාලද ද ඒ ඒ (රූපය අනිත්යාදි විසින්) රිසි වේ නු යි විදිතභාවයෙන් පැවැති ප්රඥාව ක්ෂාන්තිඥාන නම් වෙයි. වේදනාව ... සංඥාව - සංස්කාරයෝ - විඥානය - චක්ෂුස ... ජරාමරණය අනිත්ය විසින් දන්නාලද යැ. ජරාමරණය දුඃඛ විසින් දන්නාලද යැ. ජරාමරණය අනාත්ම විසින් දන්නාලද යැ. යම් යම් ජරාමරණයෙක් (අනිත්යාදි විසින්) දන්නාලද ද ඒ ඒ ජරාමරණය (අනිත්යාදි විසින්) රිසි වේ නු යි විදිතභාවයෙන් පැවැති ප්රඥාව ක්ෂාන්තිඥාන නම් වේ.
එය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘විදිත්තා පඤ්ඤා ඛන්තිඤාණං’ යි.
ක්ෂාන්තිඥානනිර්දේශ යි.