41. ක්‍ෂාන්ති ඥානය
කිසෙයින් (රූපස්කන්‍ධාදිය අනිත්‍යාදිවශයෙන්) විදිතභාවයෙන් පැවැති ප්‍රඥාව ක්‍ෂාන්තිඥාන වෙයි යත්:
රූපය අනිත්‍ය විසින් (අනිත්‍යානුදර්‍ශනයෙන්) දන්නාලද යැ. රූපය දුඃඛ විසින් (දුඃඛානුදර්‍ශනයෙන්) දන්නාලද යැ. රූපය අනාත්ම විසින් (අනාත්මානුදර්‍ශනයෙන්) දන්නාලද යැ. යම් රූපයෙක් (අනිත්‍යාදි විසින්) දන්නාලද ද ඒ ඒ (රූපය අනිත්‍යාදි විසින්) රිසි වේ නු යි විදිතභාවයෙන් පැවැති ප්‍රඥාව ක්‍ෂාන්තිඥාන නම් වෙයි. වේදනාව ... සංඥාව - සංස්කාරයෝ - විඥානය - චක්‍ෂුස ... ජරාමරණය අනිත්‍ය විසින් දන්නාලද යැ. ජරාමරණය දුඃඛ විසින් දන්නාලද යැ. ජරාමරණය අනාත්ම විසින් දන්නාලද යැ. යම් යම් ජරාමරණයෙක් (අනිත්‍යාදි විසින්) දන්නාලද ද ඒ ඒ ජරාමරණය (අනිත්‍යාදි විසින්) රිසි වේ නු යි විදිතභාවයෙන් පැවැති ප්‍රඥාව ක්‍ෂාන්තිඥාන නම් වේ.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘විදිත්තා පඤ්ඤා ඛන්තිඤාණං’ යි.
ක්‍ෂාන්තිඥානනිර්දේශ යි.
42. පර්‍ය්‍යවගාහණ ඥානය
කිසෙයින් (රූපස්කන්‍ධාදිය අනිත්‍යාදිවශයෙන් ඥානස්පර්‍ශයෙන්) ස්පර්‍ශ කළ බැවින් පැවැති ප්‍රඥාව පර්‍ය්‍යාවගාහණඥාන වෙයි යත්:
රූපය අනිත්‍යවශයෙන් (විදර්‍ශනාඥානස්පර්‍ශයෙන්) ස්පර්‍ශ කෙරෙයි. රූපය දුඃඛවශයෙන් ස්පර්‍ශ කෙරෙයි. රූපය අනාත්මවශයෙන් ස්පර්‍ශ කෙරෙයි. යම් යම් රූපයක් (අනිත්‍යාදිවශයෙන්) ස්පර්‍ශ කෙරේ ද ඒ ඒ රූපයට (අනිත්‍යාදිවශයෙන්) පිවිසේ නු යි ස්පර්‍ශ කළ බැවින් පැවැති ප්‍රඥාව පර්‍ය්‍යවගාහණ ඥාන නම් වේ.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ඵුට්ඨත්තා පඤ්ඤා පරියෝගාහනෙ ඤාණං’යි.
පර්‍ය්‍යවගාහණඥානනිර්දේශ යි.
43. ප්‍රදෙශවිහාර ඥානය
කිසෙයින් (ස්කන්‍ධාදීන්ගේ ඒකදේශ වූ වේදනාධර්‍මය) පිඬු කරන ප්‍රඥාව ප්‍රදේශවිහාරඥානය වෙයි යත්:
මිථ්‍යාදෘෂ්ටිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාදෘෂ්ටිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්දෘෂ්ටිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්දෘෂ්ටිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාසඞ්කල්පප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාසඞ්කල්ප සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යක්සඞ්කල්පප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යක්සඞ්කල්පය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි ... මිථ්‍යාවිමුක්තිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාවිමුක්තිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්විමුක්තිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්විමුක්තිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි: ලෝභප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. ලෝභය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. විතර්‍කප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. විතර්‍කය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සංඥාප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සංඥාව සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වේ.
ඉදින් ඡන්‍දය (ලෝභය) ද සන්හිඳුණේ වේ නම් විතර්‍කය ද නො සන්හිඳුණේ වේ නම් සංඥාව ද නො සන්හිඳුණේ වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. ඡන්‍දය සන්හිඳුණේ වේ නම් විතර්‍කය ද නො සන්හිඳුණේ වේ නම් සංඥාව ද නො සන්හිඳුණේ වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. ඡන්‍දය ද ව්‍යුපශාන්ත වේ නම් විතර්‍කය ද ව්‍යුපශාන්ත වේ නම් සංඥාව අව්‍යුපශාන්ත වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. ඡන්‍දය ද ව්‍යුපශාන්ත වේ නම් විතර්‍කය ද ව්‍යුපශාන්ත වේ නම් සංඥාව ද ව්‍යුපශාන්ත වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. නො පත් රහත්ඵලයට පැමිණෙනු පිණිස වීර්‍ය්‍යයෙක් ඇති, එ (රහත්ඵලයට) කරුණු වූ ආර්‍ය්‍යමාර්‍ගය පැමිණි කල්හි එකරුණෙනුදු වේදයිතය වේ.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සමෝදහනෙ පඤ්ඤා පදෙසවිහාරේ ඤාණං’යී.
ප්‍රදේශවිහාරඥානනිර්දේශ යි.