20-24. ඥානපඤ්චකය
කිසෙයින් අභිඥාප්‍රඥාව ඥාතාර්‍ත්‍ථඥාන වෙයි, පරිඥාප්‍රඥාව තීරණාර්‍ත්‍ථඥාන වෙයි, ප්‍රහාණප්‍රඥාව පරිත්‍යාගාර්‍ත්‍ථඥාන වෙයි, භාවනාප්‍රඥාව ඒකරසාර්‍ත්‍ථඥාන වෙයි, සාක්‍ෂාත්ක්‍රියාප්‍රඥාව ස්පර්‍ශනාර්‍ත්‍ථඥාන වෙයි යත්:
යම් යම් ධර්‍ම කෙනෙක් (ධර්‍මස්වභාවලක්‍ෂණ දැනීම් වශයෙන්) මොනොවට දන්නාලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ දන්නාලද්දාහු වෙති. යම් යම් ධර්‍ම කෙනෙක් (සාමාන්‍ය ලක්‍ෂණ වශයෙන්) හාත්පසින් දන්නාලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ තීරණය කරනලද්දාහු වෙති. යම් යම් ධර්‍ම කෙනෙක් (භඞ්ගානුදර්‍ශනයෙහි පටන්) ප්‍රහීණ වූවාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ පරිත්‍යක්ත වූවාහු වෙති. යම් යම් ධර්‍ම කෙනෙක් වඩනලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ එකකෘත්‍ය වූවාහු වෙති. යම් යම් ධර්‍ම කෙනෙක් ප්‍රත්‍යක්‍ෂ කරනලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ (ප්‍රතිලාභප්‍රතිවේධස්පර්‍ශයෙන්) ස්පර්‍ශ කරනලද්දාහු වෙත්.
ඒ ඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: අභිඤ්ඤපඤ්ඤා ඤාතට්ඨෙ ඤාණං, පරිඤ්ඤාපඤ්ඤා තීරණට්ඨෙ ඤාණං, පහාණපඤ්ඤා පරිච්චාගට්ඨෙ ඤාණං, භාවනාපඤ්ඤා ඒකරසට්ඨෙ ඤාණං, සච්ඡිකිරියාපඤ්ඤා ඵුසනට්ඨෙ ඤාණං’යි
පඤ්චකඥානනිර්දේශ යි.
25-28. ප්‍රතිසංවිද් ඥානය
කිසෙයින් අර්‍ත්‍ථනානාත්‍වයෙහි ප්‍රඥාව අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන වෙයි, ධර්‍මනානාත්‍වයෙහි ප්‍රඥාව ධර්‍මප්‍රතිසංවිද්ඥාන වෙයි, නිරුක්තිනානාත්‍වයෙහි ප්‍රඥාව නිරුක්තිප්‍රතිසංවිද්ඥාන වෙයි, ප්‍රතිභානනානාත්‍වයෙහි ප්‍රඥාව ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන වෙයි යත්:
ශ්‍රද්ධේන්‍ද්‍රිය ධර්‍මයෙක, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ධර්‍මයෙක, සමාධීන්‍ද්‍රිය ධර්‍මයෙක, ප්‍රඥේන්‍ද්‍රිය ධර්‍මයෙකි, ශ්‍රද්ධේන්‍ද්‍රිය අනෙකෙක, වීර්ය්‍යේන්‍ද්‍රියධර්‍මය අනෙකෙක, සමාධීන්‍ද්‍රියධර්‍මය අනෙකෙක, ප්‍රඥේන්‍ද්‍රියධර්‍මය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ නානාධර්‍මයෝ දන්නාලද්දාහු ද ඒ ඥානයෙන් මැ මේ නානාධර්‍මයෝ අභිමුඛභාවයෙන් දන්නාලද්දාහු වෙත්. එයින් කියනු ලැබෙයි: ‘ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං’යි
අධිමෝක්‍ෂකෘත්‍යය අර්‍ත්‍ථයෙක, ප්‍රග්‍රහකෘත්‍යය අර්‍ත්‍ථයෙක, උපස්ථාන (වැටහීම්) කෘත්‍යය අර්‍ත්‍ථයෙක, අවික්‍ෂේපකෘත්‍යය අර්‍ත්‍ථයෙක, දර්‍ශනකෘත්‍යය අර්‍ත්‍ථයෙකි. අධිමෝක්‍ෂකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රග්‍රහකෘත්‍යසංඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, උපස්ථානකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, අවික්‍ෂේපකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, දර්‍ශනකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ නානාර්‍ත්‍ථයෝ දන්නා ලද්දාහු ද, එ මැ ඥානයෙන් මේ නානාර්‍ත්‍ථයෝ ප්‍රකට වූවාහු වෙත් යයි. එයින් කියනු ලැබෙයි: “අත්‍ථනානත්තේ පඤ්ඤා අත්‍ථපටිසම්භිදෙ ඤාණං’යී.
සද්ධින්‍ද්‍රියාදි පඤ්චධර්‍මයන් (පරහට) දක්වනු සඳහා චතුර්විධ නාමව්‍යඤ්ජන නාමනිරුක්ති නාමාභිලාපයෝ වෙති. (අධිමෝක්‍ෂාදි) පඤ්චාර්‍ත්‍ථයන් දක්වනු සඳහා නාමව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙත්. ධර්‍මනිරුක්තීහු අන්‍යයෝ යැ, අර්‍ත්‍ථනිරුක්තීහු අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධ වූ නිරුක්තීහු දන්නා ලද්දාහු වෙත් ද, එ මැ ඥානයෙන් මේ නානානිරුක්තීහු ප්‍රකට කොට දන්නා ලද්දාහු වෙත් යයි. එයින් කියනු ලැබෙයි: “නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං”යී
පඤ්චධර්‍මයෙහි ඥානයෝ යැ, පඤ්චඅර්‍ත්‍ථයෙහි ඥානයෝ යැ, දශනිරුක්තියෙහි ඥානයෝ යි. ධර්‍මයෙහි ඥානයෝ යැ, අර්‍ත්‍ථයෙහි ඥානයෝ අන්‍යයෝ යැ, නිරුක්තියෙහි ඥානයෝ අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධ වූ ඥානයෝ දන්නා ලද්දාහු වෙත් ද, එ මැ ඥානයෙන් මේ විවිධ වූ ඥානයෝ දන්නා ලද්දාහු වෙත් යයි. එයින් කියනු ලැබෙයි: “පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං”යී.
ශ්‍රද්ධාබලය ධර්‍මයෙක, වීර්‍ය්‍යබලය ධර්‍මයෙක, ස්මෘතිබලය ධර්‍මයෙක, සමාධිබලය ධර්‍මයෙක, ප්‍රඥාබලය ධර්‍මයෙකි. ශ්‍රද්ධාබලය අන්‍යධර්‍මයෙක, වීර්‍ය්‍යබලය අන්‍යධර්‍මයෙක, ස්මෘතිබලය අන්‍යධර්‍මයෙක, සමාධිබලය අන්‍යධර්‍මයෙක, ප්‍රඥාබලය අන්‍යධර්‍මයෙකි. යම් ඥානයෙකින් මේ විවිධ ධර්‍මයෝ දන්නා ලද්දාහු ද, එ මැ ඥානයෙන් මේ නානාධර්‍මයෝ ප්‍රකට කොට දන්නා ලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි. “ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං”යී.