17. චර්‍ය්‍යානානාත්‍ව ඥානය
කිසෙයින් චර්‍ය්‍යාවන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව චර්‍ය්‍යානානාත්‍වඥානය වෙයි යත්:
චර්‍ය්‍යා යනු චර්‍ය්‍යා තුනෙකි: විඥානචර්‍ය්‍යා යැ අඥානචර්‍ය්‍යා යැ ඥාන චර්‍ය්‍යා යි.
විඥානචර්‍ය්‍යා කවර යත්:
රූපවිෂයෙහි රූපදර්‍ශනය සඳහා පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ රූපවිෂයෙහි දර්‍ශනය මැ අර්‍ත්‍ථ කොට ඇති (කුශලවිපාක වූ හෝ අකුශලවිපාක වූ හෝ) චක්‍ෂුර්විඥානය විඥානචර්‍ය්‍යා යැ, රූපවිෂයෙහි (චක්‍ෂුර්විඥානයෙන් රූපාලම්බනය) දුටු බැවින් පැවැති අරමුණට නඟන කුශලාකුශලවිපාකසම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ රූපවිෂයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
ශබ්දාලම්බනයෙහි ශ්‍රවණය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ ශබ්දාලම්බනයෙහි ශ්‍රවණය මැ අර්‍ත්‍ථ කොට ඇති (කුශලාකුශලවිපාක) ශ්‍රෝත්‍රවිඥානය විඥානචර්‍ය්‍යා යැ ශබ්දාලම්බනයෙහි (ශ්‍රොත්‍රවිඥානයෙන් ශබ්දාලම්බනය) අසනලද බැවින් අරමුණට නඟන කුශලාකුශලවිපාක වූ සම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. ශබ්දාලම්බනයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
ගන්‍ධාලම්බනයෙහි ආඝ්‍රාණය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ ගන්‍ධාලම්බනයෙහි ආඝ්‍රාණය මැ අර්‍ත්‍ථ කොට ඇති (කුශලාකුශලවිපාක) ඝ්‍රාණවිඥානය විඥානචර්‍ය්‍යා යැ ගන්‍ධාලම්බනයෙහි (ඝ්‍රාණවිඥානයෙන් ගන්‍ධාලම්බනය) ආඝ්‍රාණය කළ බැවින් අරමුණට නඟන කුශලාකුශලවිපාක වූ සම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. ගන්‍ධාලම්බනයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
රසාලම්බනයෙහි රසවිඳීම පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ රසාලම්බනයෙහි රසවිඳීම මැ අර්‍ත්‍ථ කොට ඇති (කුශලාකුශලවිපාක) ජිහ්වාවිඥානය විඥානචර්‍ය්‍යා යැ රසාලම්බනයෙහි (ජිහ්වාවිඥානයෙන් රසාලම්බනය) විඳුනාලද බැවින් අරමුණට නඟන කුශලාකුශල විපාක වූ සම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. රසාලම්බනයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි ස්පර්‍ශය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි ස්පර්‍ශය මැ අර්‍ත්‍ථ කොට ඇති (කුශලාකුශලවිපාක) ජිහ්වාවිඥානය විඥානචර්‍ය්‍යා යැ. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි (කායවිඥානයෙන් ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය) ස්පර්‍ශ කරනලද බැවින් අරමුණට නඟන කුශලාකුශලවිපාක වූ සම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
ධර්‍මාලම්බනයෙහි විජානනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ. ධර්‍මාලම්බනයෙහි ආලම්බනය දැනගැනීම මැ අර්‍ත්‍ථ කොට ඇති මනෝවිඥානය විඥානචර්‍ය්‍යා යැ. ධර්‍මාලම්බනයෙහි (මනෝවිඥානයෙන් ධර්‍මාලම්බනය) දන්නා බැවින් අරමුණට නඟන විපාකමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ ධර්‍මාලම්බනයෙහි අභිනිරොපිත බැවින් විපාකමනෝවිඥාන ධාතුව විඥානචර්‍ය්‍යා යි.
විඤ්ඤාණචරියා යනු: කවර අරුතෙකින් විඥානචර්‍ය්‍යා වී ද යත්:
රාග රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, ද්වේෂ රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, මෝහ රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, මාන රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, දෘෂ්ටි රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, ඖද්ධත්‍ය රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, විචිකිත්සා රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, අනුශය රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, රාගයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, ද්වේෂයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, මෝහයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, මානයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, දෘෂ්ටියෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, ඖද්ධත්‍යයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, විචිකිත්සායෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, අනුශයයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, කුශලකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, අකුශලකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, සාවද්‍යකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, අනවද්‍යකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, කෘෂ්ණකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, (හිරිඔතප් සඞ්ඛ්‍යාත) ශුක්ලකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, සුඛොදය ඇති කර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, දුඃඛොදය ඇති කර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, සුඛවිපාක වූ කර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, දුඃඛවිපාක වූ කර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, විඥාතයෙහි (විඥානයෙන් දැනගත් අරමුණෙහි) හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, උක්තප්‍රකාර විඤ්ඤාණයාගේ මෙබඳු වූ චර්‍ය්‍යා වේ නු යි විඤ්ඤාණචරියා නමු. රාගාදි කෙලෙස් නැති බැවින් මේ සිත පියවින් පිරිසුදු නු යි විඤ්ඤාණචරියා නමු. මේ විඥානචර්‍ය්‍යා යි.
අඥානචර්‍ය්‍යා කවර යත්:
මනවඩන රූපයන්හි (සන්තති වශයෙන්) රාගයාගේ ජවනය පිණිස පැවැති (චක්‍ෂූර්ද්වාරයෙහි අයෝනිසෝමනසිකාර වූ ) ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. රාගයාගේ ජවනය අඥානචර්‍ය්‍යයා යි. අමනෝඥ වූ රූපයන්හි ද්වේෂයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. ද්වේෂයාගේ ජවනය අඥානචර්‍ය්‍යයා යි. එ දෙකින් (රාගද්වේෂ වශයෙන්) නො දක්නා රූපාලම්බන සඞ්ඛ්‍යාත වස්තුයෙහි (විචිකිත්සා ඖද්ධත්‍ය වශයෙන්) මෝහයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජන ක්‍රියාව්‍යාකෘත මනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යයා යැ මෝහයාගේ ජවනය අඥානචර්‍ය්‍යයා යි. (උන්නති වශයෙන්) විනිබන්‍ධ වැ සිටි මානගේ ජවනය පිණිස පැවති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යයා යැ. මානයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. පරාමෘෂ්ට වූ දෘෂ්ටියගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යයා යැ. දෘෂ්ටියගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. (රූපාලම්බනයෙහි) වික්‍ෂෙපබවට ගිය ඖද්ධත්‍යයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝවිඥාන ධාතුව විඥානචර්‍ය්‍යා යැ විචිකිත්සාවගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. ස්ථිර බවට ගිය අනුශයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යයා යැ. අනුශයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි.