1. ශ්‍රැතමය ඥානය
1. කිසෙයින් ශ්‍රෝත්‍රාවධානයෙහි (අසන ලද්දෙහි) ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:
‘මේ ධර්‍මයෝ (ස්වභාව ලක්‍ෂණාවබෝධ වශයෙන්) මැනැවින් දතයුත්තාහ’යි (දෙසන්නහුගේ ධර්‍මය) සෝතාවධාන යැ හෙවත් ශ්‍රැතය යි. ඒ ශ්‍රැතය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
‘මේ ධර්‍මයෝ (සාමාන්‍ය ලක්‍ෂණාවබෝධ වශයෙන්) පිරිසිඳ දතයුත්තාහ’යි (දෙසන්නහුගේ ධර්‍මය) සෝතාවධාන නමැ. ඒ දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
‘මේ ධර්‍මයෝ ප්‍රහාතව්‍යයෝ යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
‘මේ ධර්‍මයෝ වැඩියයුත්තාහ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
‘මේ ධර්‍මයෝ ප්‍රත්‍යක්‍ෂ කළයුත්තාහ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
‘මේ ධර්‍මයෝ පරිහාණිය සෙවුනාහ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
‘මේ ධර්‍මයෝ ස්ථිතිය සෙවුනාහ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
‘මේ ධර්‍මයෝ (මත්තෙහි විශේෂාධිගම විසින්) විශේෂය සෙවුනාහ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
‘මේ ධර්‍මයෝ ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත නිර්වේදය සෙවුනාහ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
‘සියලු ධර්‍මයෝ අනාත්මයෝ යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
‘මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
‘මේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
‘මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යි.
(2)
කිසෙයින් මේ ධර්‍මයෝ අභිඥේයහ’යි සෝතාවධාන වෙයි, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:
එක් ධර්‍මයෙක් අභිඥෙය යැ: හැම සත්හු ආහාරයෙන් සිටුනාහ.
ධර්‍මයෝ දෙදෙනෙක් අභිඥේයහ: සඞ්ඛතාසඞ්ඛතධාතූහු දෙදෙන යි.
ධර්‍මයෝ තිදෙනෙක් අභිඥේයයෝ යැ: (කාමරූපාරූප යන) තුන් ධාතූහු යි.
ධර්‍මයෝ සතර දෙනෙක් අභිඥේයයෝ යැ: චතුරාර්‍ය්‍යසත්‍යයෝ යි.
ධර්‍මයෝ පස් දෙනෙක් අභිඥේයයෝ යැ: පඤ්චවිමුක්තායතනයෝ යි.
ධර්‍මයෝ ස දෙනෙක් අභිඥේයයෝ යැ: ෂඩානුත්තරියයෝ යි.
ධර්‍මයෝ සත් දෙනෙක් අභිඥේයයෝ යැ: සප්තනිර්‍දශවස්තූහු යි.
ධර්‍මයෝ අට දෙනෙක් අභිඥේයයෝ යැ: අෂ්ටඅභිභායතනයෝ යි.
ධර්‍මයෝ නව දෙනෙක් අභිඥේයයෝ යැ: නව අනුපූර්‍වවිහාරයෝ යි.
ධර්‍මයෝ දශ දෙනෙක් අභිඥේයයෝ යැ: (සම්‍යග්දෘෂ්ටි ආදි) දශනිර්‍ජරවස්තූහු යි.
(3)
මහණෙනි, සියල්ල අභිඥෙය යැ, මහණෙනි, කවර සියල්ල අභිඥෙය වෙයි යත්:
මහණෙනි, ප්‍රසාදචක්‍ෂුස (අභිඥෙය) මැනැවින් දතයුතු යැ. රූපයෝ දතයුත්තාහ. චක්‍ෂුර්විඥානය දතයුතු යැ. චක්ඛුසම්ඵස්සය දතයුතු යැ. චක්‍ෂුර්විඥානය හා සම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක් උපදී නම් එ ද දතයුතු යි.
ශ්‍රෝතප්‍රසාදය දතයුතු යැ. ශබ්දයෝ දතයුත්තාහ ... ඝ්‍රාණප්‍රසාදය දතයුතු යැ. ගන්‍ධයෝ දතයුත්තාහ ... ජීව්හාප්‍රසාදය දතයුතු යැ රසයෝ දතයුත්තාහ … කායප්‍රසාදය දතයුතු යැ. ස්ප්‍රෂ්ටව්‍යයෝ දතයුත්තාහ ... භවාඞ්ගමනස දතයුතු යැ. ධර්‍මාලම්බනයෝ දතයුත්තාහ ... මනෝවිඥානය දතයුතු ය. මනෝසම්ඵස්සය දතයුතු යැ මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද දතයුතු යි.”
රූපය දතයුතු යැ. වේදනාව දතයුතු යැ. සංඥාව දත යුතු යැ. සංස්කාරයෝ දතයුත්තාහ. විඥානය දතයුතු යි.