3. 4. 9.
(9) එහි සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර කවරෙ යැ :
“අභිජාතීහු සදෙනෙකි : කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති (නීචකුල) ඇති පුද්ගලයෙක් ඇත, හේ කෘෂ්ණ වූ අකුශලධර්‍මය රැස්කෙරෙයි, කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති ඇති පුද්ගලයෙක් ඇත, හේ ශුක්ල වූ කුශලධර්‍මය රැස්කෙරෙයි, කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති ඇති පුද්ගලයෙක් ඇත, හේ අකෘෂ්ණ අශුක්ල වූ අකණ්හඅසුක්කවිපාක උපදවන අත්‍යන්ත නිෂ්ඨා වූ අර්‍හත්‍ව සංඛ්‍යාත නිවන උපදවයි. ශුක්ල වූ ශුක්ලාභිජාති (උසස්කුල) ඇති පුඟුලෙක් ඇත, හේ අකුශලධර්‍ම රැස්කෙරෙයි, ශුක්ල වූ ශුක්ලාභිජාති ඇති පුඟුලෙක් ඇත, හේ කුශලධර්‍ම රැස්කෙරෙයි, ශුක්ල වූ ශුක්ලාභිජාති ඇති පුඟුලෙක් ඇත, හේ අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණඅශුක්ල විපාක ඇති අත්‍යන්තනිෂ්ඨා වූ අර්‍හත්‍ව සංඛ්‍යාත නිවන උපදවයි.
ඒ පුඟුලන් සදෙනා කෙරෙහි යම් පුඟුලෙක් කෘෂ්ණ වූ කෘෂ්ණජාති ඇතියේ අකුශල ධර්‍ම රැස්කෙරේ ද, යම් පුඟුලෙක් ශුක්ල වූ ශුක්ලාභිජාති ඇතියේ අකුශලධර්‍ම රැස්කෙරේ ද මේ පුද්ගලයෝ දෙදෙන සංකිලෙසභාගිය වෙති.
එහි යම් පුඟුලෙක් කෘෂ්ණ වූයේ කෘෂ්ණාභිජාති ඇතියේ කුශලධර්‍ම රැස්කෙරේ ද, යම් පුඟුලෙක් ශුක්ල වූ ශුක්ලාභිජාති ඇතියේ කුශලධර්‍ම රැස්කෙරේ ද, මේ පුද්ගලයෝ දෙදෙන වාසනාභාගිය වෙති.
එහි යම් පුඟුලෙක් කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති ඇතියේ අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණා ශුක්ල විපාක ඇති අත්‍යන්ත නිෂ්ඨා වූ අර්‍හත්‍ව සංඛ්‍යාත නිවන ආරාධනය කෙරේ ද, යම් පුඟුලෙක් ශුක්ල වූ ශුක්ලාභිජාති ඇතියේ අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණාශුක්ල විපාක ඇති අත්‍යන්තනිෂ්ඨා වූ අර්‍හත්‍ව සංඛ්‍යාත නිර්‍වාණය අධිගම කෙරේ ද, මේ පුද්ගලයෝ දෙදෙන නිබ්බේධභාගිය වූවාහු” යයි.
මේ සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ.
“මහණෙනි, මේ කර්‍මයෝ සතරදෙනෙකි, කවර සතරදෙනෙක යත් : කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක ඇති කර්‍මයෙක් ඇත, ශුක්ල වූ ශුක්ලවිපාක ඇති කර්‍මයෙක් ඇත, කෘෂ්ණ ශුක්ල වූ කෘෂ්ණශුක්ලවිපාක ඇති කර්‍මයෙක් ඇත, අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණාශුක්ල විපාක ඇති කර්‍මයෙක් ඇත, කර්‍මයන් කෙරෙහි උත්තම වූ කර්‍මශ්‍රේෂ්ඨ වූ ඒ කර්‍මය කර්‍මක්‍ෂය පිණිස පවත්නේ” යි.
එහි කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක ඇති යම් කර්‍මයෙකුත් කෘෂ්ණ ශුක්ල වූ කෘෂ්ණශුක්ල විපාක ඇති යම් කර්‍මයෙකුත් වේ ද, මේ සංකිලේස යැ. එහි ශුක්ල වූ ශුක්ලවිපාක ඇති යම් කර්‍මයෙකුත් වේ ද, මේ වාසනා යැ. අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණාශුක්ලවිපාක ඇති යම් කර්‍මයෙක් වේ ද, කර්මෝත්තම වූ කර්‍මශ්‍රේෂ්ඨ වූ ඒ කර්‍මය කර්‍මක්‍ෂය පිණිස පවතී. මේ නිබ්බේධ යි.
මේ සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යි.
3. 4. 10.
(10) එහි වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර කවරෙ යැ.
1. මනුෂ්‍යභාවය ලැබ කටයුතු දැය ද නො කටයුතු දැය ද යන දෙක කෙරෙති. එහෙත් මොනොවට කටයුතු වූයේ කුසල් හෝ සංයෝජනය ප්‍රහාණය හෝ යි.
‘සුකිච්චං චෙවපුඤ්ඤනි’ යනු වාසනා යැ. ‘සංයෝජනවිප්පහානං’ යනු නිබ්බේධ යි.
2. පින්කම් කොට කළ පින් ඇත්තාහු ස්වර්‍ගයෙන් ස්වර්‍ගයට යෙති සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් ජරාමරණයෙන් මිදෙත් යයි.
‘පුඤ්ඤානි කරිත්‍වාන සග්ගා සග්ගං වජන්ති කතපුඤ්ඤා’ යනු වාසනායැ. ‘සංයෝජනාප්පහානා ජරාමරණං විමුච්චන්ති’ යනු නිබ්බේධ යි.
මේ වාසනා භාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ.