3. 4.
ශාසනප්‍රස්ථානය
ඒ මූලපදවිභාගයෙහි අටළොස් මූලපදයෝ කොහි ලා දැක්කයුත්තාහු යැ යත් : සාසනපට්ඨානයෙහි දැක්කයුතු. එහි සාසනපට්ඨාන කවරෙ යැ : (1) සංකිලෙසභාගිය සූත්‍ර යැ, (2) වාසනාභාගිය සූත්‍ර යැ, (3) නිබ්බේධභාගිය සූත්‍ර යැ, (4) අසේඛභාගිය සූත්‍ර යැ, (5) සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්‍ර යැ, (6) සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ, (7) සංකිලෙසභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ, (8) සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ, (9) සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ, (10) වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ, (11) තණ්හාසංකිලේසභාගිය සූත්‍ර යැ, (12) දිට්ඨිසංකිලේසභාගිය සූත්‍ර යැ, (13) දුච්චරිතසංකිලෙසභාගිය සූත්‍ර යැ, (14) තණ්හාවෝදානභාගිය සූත්‍ර යැ, (15) දිට්ඨිවෝදානභාගිය සූත්‍ර යැ, (16) දුච්චරිතවෝදානභාගිය සූත්‍ර යි.
එහි සංකිලේස ත්‍රිවිධ යැ : තණ්හාසංකිලේස යැ දිට්ඨිසංකිලේස යැ දුච්චරිතසංකිලේස යි කියා යි. ඒ ත්‍රිවිධ සංකිලේසයන් කෙරෙහි තණ්හාසංකිලෙසය සමථයෙන් විසුද්ධ වෙයි, ඒ සමථය සමාධිස්කන්‍ධ යි. දිට්ඨිසංකිලේසය විදර්‍ශනායෙන් විසුද්ධ වෙයි, ඒ විදර්‍ශනාව ප්‍රඥාස්කන්‍ධ යි. දුශ්චරිතසංකිලේසය සුචරිතයෙන් විසුද්ධ වෙයි, ඒ සුචරිතය ශීලස්කන්‍ධ යි. ශීලයෙහි පිහිටි ඔහුට ඉදින් භවයෙහි ආසත්ති (භව ප්‍රාර්‍ත්‍ථනාව) උපදී නම්, මෙසේ ඒ පුද්ගලහට මේ ශමථ - විදර්‍ශනා (විපාකඵල උපදවන හෙයින්) භාවනාමය පුණ්‍යක්‍රියාවස්තු වෙයි. ඒ ඒ භවයෙහි උපත පිණිස පවතී.
මේ ‘සංකිලේසභාගියා’ දි සතර සූත්‍රයෝ (‘සංකිලෙසභාගියං ච වාසනාභාගියං ච’ යනාදීන්) මිශ්‍ර කරනලද්දාහු සූත්‍ර අටක් වෙති. එමැ සූත්‍ර අට (ත්‍රික වශයෙන්) මිශ්‍ර කරන ලද්දාහු සොළොස් සූත්‍ර කෙනෙක් වෙත්. පට්ඨානනයින් විභාග කරනලද මේ සොළොස් වැදෑරුම් සූත්‍රයෙන් ‘සුත්ත ගෙය්‍යාදි පර්‍ය්‍යාප්තිශාසන සංඛ්‍යාත නවවිධ සූත්‍රය සොළොස් පරිද්දෙකින් විභාග කරනලද්දේ වේ. (මේ සොළසවිධ පට්ඨානයෙන් අසංගෘහිත වූ පර්‍ය්‍යාප්තිශාසනප්‍රදේශයෙක් නැතැ’ යි සේයි.) ගාථායෙන් ගාථාව (මේ ගාථාව වැනි ගාථා සංකිලෙසභාගිය යැ යනාදීන්) අනුමාන කොට හෙවත් තර්‍කණ කොට දතයුතු යැ, වෙය්‍යාකරණයෙන් වෙය්‍යාකරණය අනුමිනිතව්‍ය යැ, සූත්‍රයෙන් සූත්‍රය අනුමිනිතව්‍ය යි.
3. 4. 1.
(1) ඒ සොළොස් සූත්‍රයන් කෙරෙහි සංකිලෙසභාගිය සූත්‍රය කවරෙ යැ :
1. ක්ලේශකාමයෙන් අන්‍ධ වූ තෘෂ්ණාජාලයෙන් වෙළුණු තෘෂ්ණා සංඛ්‍යාත අන්‍ධකාරයෙන් වැසුණු කෙමිනමුවෙහි මසුන් මෙන් ප්‍රමාදය හේතු කොටගෙන කාමගුණ සංඛ්‍යාත බන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයෝ මවු දෙන කරා කිරි බොන වස්සකු මෙන් ජරාමරණයට පුනපුනා පැමිණෙති.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
“මහණෙනි, මේ අගතිගමනයෝ සතර දෙනෙකි, කවර සතරදෙනෙක යත්: ඡන්‍දහේතුයෙන් අගතියට යෙයි, (නො කටයුතු කෙරෙයි,) ද්වේෂයෙන් අගතියට යෙයි, භයින් (භයහේතුයෙන්) අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි. මහණෙනි, මේ සතර අගතිගමනයෝ යි. බුදුහු මේ වදාළහ, සුගත වූ ශාස්තෲන් වහන්සේ මේ වදාරා යළි තෙල ගාථාධර්‍මය වදාළසේක.
2. ඡන්‍දහේතුයෙනුදු ද්වේෂහේතුයෙනුදු භයහේතුයෙනුදු මෝහහේතුයෙනුදු යමෙක් දහම් ඉක්මැ යේ නම් ඔහුගේ කීර්ති - පරිවාරයශස් අවපස සඳු සෙයින් පිරිහේ යයි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
3. වේදනාදි චෛතසිකධර්‍මයෝ සිත පෙරටුකොට ඇත්තාහ, සිත ශ්‍රේෂ්ඨ කොට ඇත්තාහ, සිතින් මැ නිපදවන ලද්දාහ, ඉදින් ප්‍රදුෂ්‍ය වූ සිතින් යුක්තව (මුසාවාදාදිය) බෙණේ නම් හෝ (ප්‍රාණවධාදිය) කෙරේ නම් හෝ ඒ හේතුයෙන් විය උසුලන ගොනුගේ පිය අනුව යන ගැල්සක මෙන් විපාකදුඃඛය ඒ පුද්ගලයා අනුව යෙයි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
4. යම් කලෙක පුරුෂ ථිනමිද්ධයෙන් මඩනාලදුයේ බොහෝ කොට බුදින්නේත් වේ ද, හුන් සිටි තැන නිදනසුලු වූයේ පෙරැළිපෙරැළි හෝනේ වේ ද, දමු කුඩු ඇ ශූකර නිවාපයෙන් පුස්නාලද මහත් ගම්හූරකු සෙයින් ඒ දුෂ්ප්‍රාඥ පුද්ගල පුනපුනා (පිළිසඳ විසින්) මවුකුසට පැමිණේ යයි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
5. යකඩින් මැ නැඟුණු මලය ඒ යකඩයෙන් මැ නැඟී යම් සේ ඒ යකඩය මැ කා වනසා ද එපරිද්දෙන් සිවුපසය (මේ සඳහා මෙතෙක් පමණැයි) ප්‍රත්‍යවේක්‍ෂාප්‍රඥාව ඉක්මැවූවහු (සිවුපසය නොපස්විකා වළඳන මහණහු) (සිය සතන්හි උපන් හෙයින්) ස්වකීය කර්‍මයෝ දුගතියට පමුණුවත් යයි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.