3. 4. 10.
(10) එහි වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර කවරෙ යැ.
1. මනුෂ්‍යභාවය ලැබ කටයුතු දැය ද නො කටයුතු දැය ද යන දෙක කෙරෙති. එහෙත් මොනොවට කටයුතු වූයේ කුසල් හෝ සංයෝජනය ප්‍රහාණය හෝ යි.
‘සුකිච්චං චෙවපුඤ්ඤනි’ යනු වාසනා යැ. ‘සංයෝජනවිප්පහානං’ යනු නිබ්බේධ යි.
2. පින්කම් කොට කළ පින් ඇත්තාහු ස්වර්‍ගයෙන් ස්වර්‍ගයට යෙති සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් ජරාමරණයෙන් මිදෙත් යයි.
‘පුඤ්ඤානි කරිත්‍වාන සග්ගා සග්ගං වජන්ති කතපුඤ්ඤා’ යනු වාසනායැ. ‘සංයෝජනාප්පහානා ජරාමරණං විමුච්චන්ති’ යනු නිබ්බේධ යි.
මේ වාසනා භාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ.
මහණෙනි, මේ ප්‍රධන්වීර්‍ය්‍යයෝ (නොහොත්) උත්තම කර්‍මයෝ දෙදෙනෙක් වෙති, කවර දෙදෙනෙක යත් : යමෙක් ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදිවූවන් විෂයෙහි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පරිත්‍යාග කෙරේ ද, ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වූවන් කෙරෙහි යම් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාග සංඛ්‍යාත මාර්‍ගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් ඇද්ද, යන මේ දෙක යි.
එහි යමෙක් ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වූවන් විෂයෙහි සිවුරු … පිරිකර පරිත්‍යාග කෙරේ ද, මේ වාසනා යැ. ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වූවන් කෙරෙහි යම් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් ඇද්ද’
මේ නිබ්බේධ යි.
මේ වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යි.
ඒ සොළොස් වැදෑරුම් සූත්‍රයන් කෙරෙහි තණ්හාසංකිලේසභාගිය සූත්‍රය තෘෂ්ණා පක්‍ෂයෙන් මැ දැක්විය යුතු යැ. කාමතණ්හායෙන් භවතණ්හායෙන් විභවතණ්හායෙන් යන තණ්හා තුනෙනි, නොහොත් උච්ඡේදාදි යම් යම් වස්තුයෙකින් බැසගන්නා ලද ද ඒ ඒ වස්තුයෙන් මැ දැක්විය යුතු යැ. ඒ තෘෂ්ණාවගේ විස්තරය ෂට්ත්‍රිංශත් තෘෂ්ණා ජාලිනියගේ විචරිතයෝ යි.
එහි දිට්ඨිසංකිලේසභාගිය සූත්‍රය දෘෂ්ටිපක්‍ෂයෙන් මැ දැක්විය යුතු යැ. උච්ඡේද ශෘස්වත දෘෂ්ටි දෙකෙහි නොහොත් අමරාවික්ඛේපාදි යම් යම් වස්තුයෙකින් මෙය මැ සැබැවැ අන්‍යය තුච්ඡ යැ යි දෘෂ්ටිවශයෙන් බැසගනී ද, ඒ ඒ වස්තුයෙන් මැ දැක්විය යුතුයැ. ඒ දෘෂ්ටියගේ විස්තරය දෙසැට දෘෂ්ටිගතයෝ යි.
එහි දුශ්චරිත සංකිලෙසභාගිය සූත්‍රය චේතනායෙන් ද චෛතසික කර්‍මයෙන් ද දැක්විය යුතු යැ. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් යන තුන් දුශ්චරිතයෙනි. ඒ දුශ්චරිතයාගේ විස්තරය දශඅකුශල කර්‍මපථයෝ යි.
එහි තණ්හාවෝදානභාගිය සූත්‍රය සමථයෙන් දැක්විය යුතු යැ. දිට්ඨිවෝදානභාගිය සූත්‍රය විදර්‍ශනායෙන් දැක්විය යුතු යැ. දුච්චරිතවෝදානභාගිය සූත්‍රය සුචරිතයෙන් දැක්විය යුතු යි.
අකුශලමූලයෝ තිදෙනෙක් වෙති, ඒ කවරහෙයින යත් : සංසාරයාගේ ඉපදීම ඇති හෙයිනි. එසේ උපන් සසරෙහි කායදුශ්චරිත යැ කායසුචරිත යැ වාග්දුශ්චරිත යැ වාග්සුචරිත යැ මනෝදුශ්චරිත යැ මනස්සුචරිත යැ (යන මේ උපදවයි).
මේ කායදුශ්චරිතාදි අනිෂ්ට වූ කර්‍මවිපාකයෙන් (පූර්‍වභවයෙහි දුශ්චරිතසමඞ්ගී බැවින් මේ බාලයෙකැයි දක්වා ලියැහෙන) බාලලක්‍ෂණය උපදී යයි.
මේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
මේ කායසුචරිතාදි ඉෂ්ට වූ කර්‍මවිපාකයෙන් (පූර්‍වභවයෙහි සුචරිත සමඞ්ගී බැවින් මේ පණ්ඩිතයෙකැ යි දක්වා ලියැහෙන) මේ මහාපුරුෂ (පණ්ඩිත) ලක්‍ෂණය උපදී” යයි.
මේ වාසනාභාගිය සූත්‍ර යි.