3. 4. 8.
(8) එහි සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර කවරේ යැ :
1. මේ සත්ත්‍වලෝක තෙමේ (ඥාතිව්‍යාසනාදීන්) උපන් ශෝක සන්තාප ඇත්තේ නොයෙක් දුඃඛස්පර්‍ශයෙන් මඩනාලදුයේ තමා විසින් පහස්නා ලද දුක (මෙබන්දක් මාගේ සතුරකුටත් නොවේවයි) වැළපෙමින් කියයි. (රෝගා වදති අත්තතෝ යන පාඨයෙහි ඵස්සපච්චයෙන් උපදනා වේදනා සංඛ්‍යාත රෝගය ආත්මවශයෙන් කියයි). යම් යම් පරිද්දෙකින් මැ තමාගේ දුකට පිළියම් සිතත් ද, ඒ දුකට එයින් අන් පරිද්දෙකින් පිළියම් කටයුතු වේ.
2. කාමාදි භවයෙහි හෝ අභිවෘද්ධියෙහි ඇලුණු ලෝවැසි තෙමේ (තමා සිතන සැටියෙන්) අන් පරිද්දෙකින් මැ වනසුලු වෙයි. එතෙකුදුවත් භවයෙහි ඇලුණේ භවය මැ කැමැති වෙයි, (ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි,) යම් භවයක් හෝ අභිවෘද්ධියක් කැමැති වේ ද, එය බියෙකි. යම් ජරාමරණාදියෙකින් බිය වේ ද, එය දුකෙකි’ යි
මේ සංකිලේස යැ.
“යළි භවය වෙසෙසින් ප්‍රහාණය පිණිස මැ මේ (මා විසින් අධිගත) මඟ බඹසර වෙසෙන්නේ යැ” යන -
මේ නිබ්බේධ යැ.
“යම් කිසි මහණකෙනෙක් වේවයි බමුණුකෙනෙක් වේවයි රූපභවයෙන් හෝ අරූපභවයෙන් නොහොත් භවදෘෂ්ටියෙන් භව (සංසාර) යාගේ මිදීම (ශුද්ධිය) කියත් ද, ඔහු සියල්ලෝ භවයෙන් නොමිදුණාහ’ යි කියමි.
“යළි යම් මහණකෙනෙක් වේවයි බමුණුකෙනෙක් වේවයි උච්ඡේදයෙන් භවයාගේ නිස්සරණය කියත් ද, ඔහු සියල්ලෝ භවයෙන් නො නික්මුණා’ යි කියමි. ඛන්‍ධාදි උපධීන් නිසා මේ සසරදුක හටගනී” යන -
මේ සංකිලේස යැ.
“සියලු කාමාදි උපාදානයන්ගේ ක්‍ෂයවීමෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත,” යන -
මේ නිබ්බේධ යැ.
(බුදුහු තමන් වහන්සේගේ සිත අමතන සේක :) වෙන වෙන පඤ්චස්කන්‍ධ වූ අවිද්‍යායෙන් මඩනාලද ස්ත්‍රීපුරුෂයන් ඔවුනොවුන් කෙරෙහි ඇලුණු එහෙයින් ම භවයෙන් නො මිදුණු මේ සත්ත්‍වලෝකය බල, (ප්‍රථමාබහුවචන පාඨයෙහි : ‘මේ සත්ත්‍වලෝකය බල’ බොහෝ වූ නොහොත් වෙන් වෙන් වූ අවිද්‍යායෙන් වැඩුණු භූත සංඛ්‍යාත පඤ්චස්කන්‍ධයෝ මවුපිය දූදරු ආදි සංඥායෙන් ඔවුනොවුන් කෙරෙහි ඇලුණාහු භවයෙන් නොමිදුණාහ,) යම් කිසි කාමාදි භවයෝ වෙත් ද, උඩ යට ආදි සියලු තැන්හි සර්‍ව භාවයෙන් ඒ හැම භවයෝ අනිත්‍යයහ දුඃඛයහ විපරිණාමස්වභාව වූහ” යි.
මේ සංකිලේස යැ.
3. මෙසේ ත්‍රිලක්‍ෂණ ප්‍රතිවේධාකාරයෙන් තෙල භව සංඛ්‍යාත පඤ්චස්කන්‍ධය තත්වූ පරිදි විදර්‍ශනා සහිත මාර්‍ගඥානයෙන් දක්නාහට භවතෘෂ්ණාව ප්‍රහීණ වෙයි, උච්ඡේදය ද නො කැමැති වේ.
සර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාවන්ගේ ක්‍ෂය වීමෙන් අශේෂ කොට ආර්‍ය්‍ය මාර්‍ගයෙන් වූ අනුත්පාදනිරෝධය නිර්‍වාණ යැ” යන -
මේ නිබ්බේධ යැ.
4. ඒ කෙලෙස් පිරිනිවනින් නිවුණු මහණහට උපාදාන රහිත හෙයින් පුනර්‍භවය නො වේ. ක්ලේශාදි පඤ්චමාර මඩනාලද, ක්ලේශසඞ්ග්‍රාමය දිනනලද, සුඛදුක්ඛාදියෙහි තාදී වූයේ සියලු භවයන් ඉක්මැවූයේ” යි.
මේ අසේඛ යැ.
මේ උදානය සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ.
“මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙනෙක, කවර සතරදෙනෙක යත් : අනුසෝතගාමී යැ, පටිසෝතගාමී යැ, ඨිතත්ත යැ, චතුරෝඝතරණය කොට පරතෙරට ගිය නිවන් තෙලෙහි සිටුනා ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ යැ යන මොහු යි.”
මේ පුද්ගලත් සතරදෙනා කෙරෙහි යම් පුඟුලෙක් අනුසෝතගාමී වේ ද මේ පුද්ගල සංකිලේසභාගී යැ, එහි යම් පුඟුලෙක් පටිසෝතගාමී වේ ද, යම් පුඟුලෙක් ඨිතත්ත වේ ද මේ පුද්ගලයෝ දෙදෙන නිබ්බේධභාගිය වෙති, එහි යම් පුඟුලෙක් ඕඝතරණය කොට පාරයට ගියේ නිවන්තෙලෙහි සිටුනා බ්‍රාහ්මණ වේ ද මේ පුද්ගල අසේඛ යි.
මේ සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යි.
3. 4. 9.
(9) එහි සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර කවරෙ යැ :
“අභිජාතීහු සදෙනෙකි : කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති (නීචකුල) ඇති පුද්ගලයෙක් ඇත, හේ කෘෂ්ණ වූ අකුශලධර්‍මය රැස්කෙරෙයි, කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති ඇති පුද්ගලයෙක් ඇත, හේ ශුක්ල වූ කුශලධර්‍මය රැස්කෙරෙයි, කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති ඇති පුද්ගලයෙක් ඇත, හේ අකෘෂ්ණ අශුක්ල වූ අකණ්හඅසුක්කවිපාක උපදවන අත්‍යන්ත නිෂ්ඨා වූ අර්‍හත්‍ව සංඛ්‍යාත නිවන උපදවයි. ශුක්ල වූ ශුක්ලාභිජාති (උසස්කුල) ඇති පුඟුලෙක් ඇත, හේ අකුශලධර්‍ම රැස්කෙරෙයි, ශුක්ල වූ ශුක්ලාභිජාති ඇති පුඟුලෙක් ඇත, හේ කුශලධර්‍ම රැස්කෙරෙයි, ශුක්ල වූ ශුක්ලාභිජාති ඇති පුඟුලෙක් ඇත, හේ අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණඅශුක්ල විපාක ඇති අත්‍යන්තනිෂ්ඨා වූ අර්‍හත්‍ව සංඛ්‍යාත නිවන උපදවයි.
ඒ පුඟුලන් සදෙනා කෙරෙහි යම් පුඟුලෙක් කෘෂ්ණ වූ කෘෂ්ණජාති ඇතියේ අකුශල ධර්‍ම රැස්කෙරේ ද, යම් පුඟුලෙක් ශුක්ල වූ ශුක්ලාභිජාති ඇතියේ අකුශලධර්‍ම රැස්කෙරේ ද මේ පුද්ගලයෝ දෙදෙන සංකිලෙසභාගිය වෙති.