3. 4. 7.
(7) එහි සංකිලෙසභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර කවරෙ යැ :
“මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජන සමුද්ද, සමුද්ද (මුහුද) යි කියයි, මහණෙනි, ආර්‍ය්‍ය විනයෙහි තෙල (ලවණසාගරය) සමුද්ද නො වෙයි, මහණෙනි, තෙලෙ මහාඋදක රාශියෙක, මහා උදකාර්‍ණවයෙකි, මහණෙනි, චක්‍ෂුස පුරුෂහට සමුද්ද (මුහුද) වෙයි, ඒ චක්‍ෂුස්සමුද්‍රයාගේ (පියවි මුහුදෙහි අපමණ රළ වේගය සෙයින්) නීලාදී අරමුණු විසින් රූපමය වේගය වේ” යයි
මේ සංකිලේස යැ.
“යමෙක් ඒ රූපමය වේගය (රාගාදි කෙලෙස් නූපදවමින් උපේක්‍ෂකභාවයෙන්) ඉවසා ද මහණෙනි, මේ තෙමේ (කෙලෙස් නමැති) රළ සහිත වූ (කෙලෙස් නමැති) දිය සුළි සහිත වූ (කෙලෙස් නමැති මකරාදි) ග්‍රාහයන් සහිත වූ (කෙලෙස් නමැති) රකුසන් සහිත වූ චක්‍ෂුස්සමුද්‍රය තරණය කෙළේ යැ, උත්තීර්‍ණ වූ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ නිර්‍වාණ පාරයට ගියේ නිර්‍වාණස්ථලයෙහි සිටි යයි කියනුලැබේ” යි.
මේ අසේඛ යැ.
“මහණෙනි, ශ්‍රෝතය ... ඝ්‍රාණය ... ජිහ්වාව ... කායය ... මහණෙනි, මනස පුරුෂහට සමුද්‍ර වෙයි, මනස්සමුද්‍රයාගේ (ආලම්බන වූ) ධර්‍මමය වේගය වේ” යයි.
මේ සංකිලේස යැ.
“යමෙක් ඒ ධර්‍මමය වේගය (උපේක්‍ෂකභාවයෙන්) ඉවසා ද, මහණෙනි මේ තෙමේ (ක්‍රෝධ උපායාස වශයෙන්) කෙලෙස් රළ සහිත වූ (කාමගුණවශයෙන්) ක්ලේශාවර්‍ත සහිත වූ (මාතුගාම වශහෙන්) ග්‍රාහයන් සහිත වූ රාක්‍ෂසයන් සහිත වූ මනස්සමුද්‍රය තරණය කෙළේ යැ, උත්තීර්‍ණ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ නිර්‍වාණපාරයට ගියේ නිර්‍වාණස්ථලයෙහි සිටී යයි කියනු ලැබේ” යි.
මේ අසේඛ යැ.
බුදුහු මේ වදාළහ, මේ වදාරා යළි සුගත වූ ශාස්තෲන් වහන්සේ අන්‍ය වූ තෙල ගාථාව වදාළහ.
1. යමෙක් ග්‍රාහයන් සහිත වූ රාක්‍ෂසයන් සහිත වූ ඌර්මිභය සහිත වූ උත්තරණය දුෂ්කර වූ මේ චක්‍ෂුරාදි සමුද්‍රය ඉක්මැවූයේ ද, මාර්‍ගඥානවේදයාගේ අන්තයට ගිය වැසැ නිමවූ මඟබඹසර ඇති ඒ ක්‍ෂීණාස්‍රව සංස්කාරලෝකයෙහි අන්තයට ගියේ යැ, නිර්‍වාණපාරයට ගියේ යැයි කියනු ලැබේ.
මේ අසේඛ යැ.
මේ සංකිලෙසභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ.
“මහණෙනි, ලොවැ මේ බඩිශයෝ (බිළි) සදෙනෙක් සත්ත්‍වයන්ට අනර්‍ත්‍ථ පිණිස ප්‍රාණීන්ට දුක් පිණිස පවත්නාහු වෙති, කවර සදෙනෙක යත් : මහණෙනි, ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රියස්වභාව වූ ක්ලේශකාම සහිත වූ සිත් අලවන චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපයෝ ඇත. ඉදින් මහණ ඒ රූපයට සප්‍රීතික තෘෂ්ණායෙන් සතුටු වේ ද තෘෂ්ණා වශයෙන් බෙණේ ද, එහි ගැලිසිටී ද මහණෙනි, මේ මහණ ක්ලේශමාරයාගේ රූප තෘෂ්ණබඩිශය ගිලගෙන සිටියේ අනර්‍ත්‍ථයට පැමිණියේ පාපිමත්හු විසින් රිසිසේ කටයුතු බවට පැමිණියේ යයි කියනු ලැබේ.
මහණෙනි, ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෝ ... ඝ්‍රාණවිඥේයගන්‍ධයෝ ජිව්හාවිඥේය රසයෝ ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෝ ... ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමෝපසංහිත රජනීය වූ මනෝවිඥෙය ධර්‍මයෝ ඇත. ඉදින් මහණ ඒ ධර්‍මාලම්බනය සතුටුවේ ද, ප්‍රියබස් කියා ද එහි ගැලී සිටී ද මහණෙනි, මේ මහණ කෙලෙස්මරහුගේ ධර්‍මාලම්බන නමැති බිළිය ගිලගෙන සිටියේ අනර්‍ත්‍ථයට පැමිණියේ ව්‍යසනයට පැමිණියේ පාපිමත්හු විසින් යථාකාමකරණීය වූයේ යයි කියනු ලැබේ” යි.
මේ සංකිලේස යැ.
“තවද මහණෙනි, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රජනීය වූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණ ඒ රූපයට තෘෂ්ණාවශයෙන් සතුටු නොවේ ද තෘෂ්ණාවශයෙන් නො බෙණේ ද එහි ගැලී නො සිටී ද, මහණෙනි, මේ මහණ කෙලෙස් මරහුගේ රූපතෘෂ්ණාබඩිශය ගිලගෙන නො සිටියේ මාරබළිසය බින්ඳේ යැ, මාරබළිසය හාත්පසින් බින්ඳේ යැ, අනර්‍ත්‍ථයට නො පැමිණියේ ව්‍යසනයට නො පැමිණියේ පාපිමත්හු විසින් යථාකාමකරණීය නො වූයේ යයි කියනු ලැබේ.
මහණෙනි, ශ්‍රෝතවිඥේය වූ ශබ්දයෝ ... ඝ්‍රාණ ... ජිහ්වා ... කාය ... මනෝවිඥෙය වූ ඉෂ්ට කාන්ත මනාප ප්‍රියස්වරූප කාමෝපසංහිත රජනීය වූ ධර්‍මාලම්බනයෝ ඇත්තාහ, ඉදින් මහණ ඒ ධර්‍මාලම්බනයට තෘෂ්ණාවශයෙන් සතුටු නො වේ ද, තෘෂ්ණාවශයෙන් නො බෙණේ ද, එහි ගැලී නො සිටී ද, මහණෙනි, මේ මහණ මාරයාගේ ධර්‍ම තෘෂ්ණා නමැති බළිසය ගිලගෙන නො සිටියේ මාරබළිසය බින්දේ යැ, මාරබළිසය හාත්පසින් බින්ඳේ යැ. අනර්‍ත්‍ථයට නො පැමිණියේ ව්‍යසනයට නො පැමිණියේ පාපිමත්හු විසින් කැමැතිසේ කළයුතු නො වූයේ මැයි කියනු ලැබේ” යි.
මේ අසේඛ යැ.
මේ සංකිලෙසභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යි.