3. 4. 6.
(6) එහි සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර කවරෙ යැ :
1. හැකිලිබැඳුම් සංඛ්‍යාත යමුවා වූ ද අන්‍දුබන්‍ධන සංඛ්‍යාත දැවමුවා වූ ද රජ්ජුබන්‍ධන සංඛ්‍යාත බබුස්තණමුවා වූ ද යම් බන්‍ධනයෙක් ඇද්ද එය බුද්ධාදි පණ්ඩිත පුරුෂයෝ දැඩි බැඳුමෙකැයි නො කියති, (අසි ආදියකින් සිඳලියැහෙන හෙයිනි.) මිණිකොඬොල් දූපුතුන් අඹුන් කෙරෙහි බලවත් රාගයෙන් ඇලුණු යම් අපේක්‍ෂායෙක් ඇද්ද -
මේ සංකිලේස යැ.
2. (සිවුඅපායෙහි හෙළන හෙයින්) යටට ඇදලන ලිහිල්වූ සිඳීමට දුෂ්කර වූ තෙල බන්‍ධනය දැඩිවූවෙකැයි ධීරයෝ කියති, කාමයන්හි අපේක්‍ෂා රහිත වූවාහු තෙල බන්‍ධනය ද සිඳ කාමසුඛය හැරපියා ගිහිගෙන් නික්මැයෙත් යයි.
මේ නිබ්බේධ යැ.
මේ සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ.
“මහණෙනි, යම් අරමුණක් (අකුශලචේතනා වශයෙන්) සිතා ද, යමක් (කාය වාක්කර්‍මභාවයට පැමිණවීම් වශයෙන්) කෙරේ ද, යමක් (අප්‍රහීණ භාවයෙන් සන්තාන ගතව) පවතී ද, තෙල අරමුණ අභිසංස්කාර විඥානයාගේ පැවැත්මට ප්‍රත්‍යය වෙයි. (යථෝක්ත) ආලම්බන සංඛ්‍යාත ප්‍රත්‍යය ඇතිකල්හි (කර්‍මය දුවවා ප්‍රතිසන්‍ධි ආකර්‍ෂණයට සමර්‍ත්‍ථ බව සපයනුයෙන්) ඒ අභිසංස්කාර විඥානයාගේ පිහිටීම වෙයි. ඒ විඥානය පිහිටි කල්හි විරූඪ කල්හි මතුයෙහි පුනර්‍භව සංඛ්‍යාත විඥානාදීන්ගේ ඉපදීම වෙයි. මතුයෙහි පුනර්‍භවයාගේ ඉපදීම ඇතිකල්හි මතුයෙහි ජාති ජරාමරණ ද සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ ද හටගනිත්. මෙසේ තෙල හුදු දුඃඛරාශිහුගේ සමුදය වේ.
මහණෙනි, ඉදින් (අකුශල චේතනා) නො සිතා ද, ඉදින් (කායවාක්කර්‍ම) නො කෙරේ ද, ඉදින් එකල අනුශයවශයෙන් පවතී ද, තෙල අරමුණ අභිසංස්කාර විඥානයාගේ ස්ථිතිය පිණිස වෙයි. ආලම්බනය ඇතිකල්හි ඒ විඥානයාගේ පිහිටීම වෙයි, ඒ විඥානය පිහිටි කල්හි විරූඪ කල්හි මතුයෙහි පුනර්‍භවයාගේ ඉපදීම වෙයි, මතුයෙහි පුනර්‍භවයාගේ ඉපදීම ඇතිකල්හි මතුයෙහි ජාති ජරා මරණ ද සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ ද හටගනිත්. මෙසේ තෙල හුදු දුඃඛරාශිහුගේ සමුදය වේ යයි.
මේ සංකිලේස යැ.
මහණෙනි, යම් තැනෙක පටන් (අකුශලචේතනා වශයෙන්) නොද සිතා ද, නො ද (කායවාක්කර්‍ම) කෙරේ ද නො ද අනුශය වශයෙන් පවතී ද, තෙල අරමුණ කර්‍ම විඥානයාගේ පැවැත්මට ප්‍රත්‍යය නො වේ, ආලම්බනය නැති කල්හි ඒ අභිසංස්කාර විඥානයාගේ පිහිටීමෙක් නො වෙයි, ඒ විඥානය අප්‍රතිෂ්ඨිත කල්හි අවිරූඪ කල්හි මතුයෙහි පුනර්‍භවයාගේ පහළවීමෙක් නො වෙයි, මතුයෙහි පුනර්‍භවයාගේ අභිනිබ්බත්තිය නැති කල්හි ජාති ජරා මරණ ද සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ ද නිරුද්ධ වෙත්. මෙසේ තෙල සකල දුඃඛස්කන්‍ධයාගේ නිරෝධය වේ” යයි.
මේ නිබ්බේධ යැ.
මේ සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යි.
3. 4. 7.
(7) එහි සංකිලෙසභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර කවරෙ යැ :
“මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජන සමුද්ද, සමුද්ද (මුහුද) යි කියයි, මහණෙනි, ආර්‍ය්‍ය විනයෙහි තෙල (ලවණසාගරය) සමුද්ද නො වෙයි, මහණෙනි, තෙලෙ මහාඋදක රාශියෙක, මහා උදකාර්‍ණවයෙකි, මහණෙනි, චක්‍ෂුස පුරුෂහට සමුද්ද (මුහුද) වෙයි, ඒ චක්‍ෂුස්සමුද්‍රයාගේ (පියවි මුහුදෙහි අපමණ රළ වේගය සෙයින්) නීලාදී අරමුණු විසින් රූපමය වේගය වේ” යයි
මේ සංකිලේස යැ.
“යමෙක් ඒ රූපමය වේගය (රාගාදි කෙලෙස් නූපදවමින් උපේක්‍ෂකභාවයෙන්) ඉවසා ද මහණෙනි, මේ තෙමේ (කෙලෙස් නමැති) රළ සහිත වූ (කෙලෙස් නමැති) දිය සුළි සහිත වූ (කෙලෙස් නමැති මකරාදි) ග්‍රාහයන් සහිත වූ (කෙලෙස් නමැති) රකුසන් සහිත වූ චක්‍ෂුස්සමුද්‍රය තරණය කෙළේ යැ, උත්තීර්‍ණ වූ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ නිර්‍වාණ පාරයට ගියේ නිර්‍වාණස්ථලයෙහි සිටි යයි කියනුලැබේ” යි.
මේ අසේඛ යැ.
“මහණෙනි, ශ්‍රෝතය ... ඝ්‍රාණය ... ජිහ්වාව ... කායය ... මහණෙනි, මනස පුරුෂහට සමුද්‍ර වෙයි, මනස්සමුද්‍රයාගේ (ආලම්බන වූ) ධර්‍මමය වේගය වේ” යයි.
මේ සංකිලේස යැ.
“යමෙක් ඒ ධර්‍මමය වේගය (උපේක්‍ෂකභාවයෙන්) ඉවසා ද, මහණෙනි මේ තෙමේ (ක්‍රෝධ උපායාස වශයෙන්) කෙලෙස් රළ සහිත වූ (කාමගුණවශයෙන්) ක්ලේශාවර්‍ත සහිත වූ (මාතුගාම වශහෙන්) ග්‍රාහයන් සහිත වූ රාක්‍ෂසයන් සහිත වූ මනස්සමුද්‍රය තරණය කෙළේ යැ, උත්තීර්‍ණ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ නිර්‍වාණපාරයට ගියේ නිර්‍වාණස්ථලයෙහි සිටී යයි කියනු ලැබේ” යි.
මේ අසේඛ යැ.