3. 4. 3.
(3) එහි නිබ්බේධභාගිය සූත්‍ර කවරෙ යැ.
1. උඩ රූපාරූපලෝකයෙහි ද යට කාමලෝකයෙහි ද යන සියලු සංස්කාරයන්හි වෙසෙසින් (කෙලෙසුන් කෙරෙන්) මිදුණු ‘මේ මම් වෙමි’ (දෘෂ්ටිවශයෙන් රූපාදිය) නොදක්නා මෙසේ විමුක්ත වූ ක්‍ෂීණාස්‍රව පෙර තරණය නොකළවිරු (කාමාදි චතුර්) ඕඝය පුනර්‍භව නොවනු පිණිස තරණය කළේ යි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
“ආනන්‍දය, සිල්වත්හු විසින් ‘කිසෙයින් මට අවිප්පටිසාරය උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, ආනන්‍දය යම් හෙයෙකින් සිල්වත්හට අවිප්‍රතිසාර උපදනේ ද තෙල ධර්‍මතා ධර්‍මස්වභාව යැ.
ආනන්‍දය, විපිළිසර නැතියහු විසින් ‘කිසෙයින් මට ප්‍රාමෝද්‍යය උපදනේ දැ’ යි සිත් නො උපදවියැයුතු යැ, යම් හෙයෙකින් අවිප්‍රතිසාරිහට ප්‍රාමෝද්‍යය උපදනේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
ආනන්‍දය, ප්‍රමුදිතයා විසින් ‘කිසෙයින් මට ප්‍රීති උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් ප්‍රමුදිතයාහට ප්‍රීති උපදනේ ද ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
ආනන්‍දය, ප්‍රීතිසිත් ඇතියහු විසින් ‘කිසෙයින් මාගේ කය සන්හිඳේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
ආනන්‍දය, සන්හුන් කය ඇතියහු විසින් ‘කිසෙයින් මම් සුව විඳුනෙම් දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
ආනන්‍දය, සුව ඇතියහු විසින් ‘කිසෙයින් මට සමාධි උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් සුවඇතියහුට සමාධි උපදනේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
ආනන්‍දය, සමාහිතයා විසින් ‘කිසෙයින් මම් (තරුණවිදර්‍ශනාඥානයෙන්) යථාභූතව දැනගනිම් දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් සමාහිත වූයේ යථාභූත ව දැනැගනී ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
ආනන්‍දය, යථාභූතව (විදසුන්නැණින්) දන්නහු විසින් ‘කිසෙයින් මට නිබ්බිදා (නිර්වේදඥානය) උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් යථාභූතව දන්නේ නිර්වේදයට පැමිණේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
ආනන්‍දය, නිර්වේදයට පැමිණියහු විසින් ‘කිසෙයින් මට විරාගය උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් නිර්විග්න වූයේ විරාගයට පැමිණේ ද ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
ආනන්‍දය විරාගයට පැමිණෙන්නහු විසින් ‘කිසෙයින් මාගේ විමුක්තිය උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් විරාගයට පැමිණෙනුයේ විමුක්තවන්නේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
ආනන්‍දය, විමුක්තවූවහු විසින් ‘කිසෙයින් මට විමුක්තිඥානදර්‍ශනය උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, (නො සිතිය යුතු යැ,) යම් හෙයෙකින් මාර්‍ගවිමුක්තියෙන් විමුක්ත වූවහුට විමුක්තිඥානදර්‍ශනය උපදනේ ද (එහෙයිනි.) ආනන්‍දය, තෙල ධර්‍මතා” යි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
2. සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍ය ඇති (ආරම්මණලක්ඛණ - උපනිධ්‍යානලක්‍ෂණ) ධ්‍යානයෙන් ධ්‍යාන කරන බාහිතපාප ඇති ක්‍ෂීණාස්‍රවහට යම් ඇසිල්ලෙක (අනුලෝමප්‍රත්‍යයාකාරප්‍රතිවේධය සිදුකරන) බෝධිපාක්‍ෂිකධර්‍මයෝ පහළවෙත් ද, එකල්හි ඔහුගේ සියලු (අටවැදෑරුම්) කාංක්‍ෂාවෝ දුරුවෙති, යම් හෙයෙකින් සහේතුක වූ දුඃඛස්කන්‍ධ ධර්‍මය දැනගනී ද එහෙයිනි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
3. සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍ය ඇති ධ්‍යාන කරන ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණහට යම් ඇසිල්ලෙක බෝධිපාක්‍ෂිකධර්‍මයෝ පහළවෙත් ද, එකල ඔහුගේ සියලු සැක දුරුවෙයි, යම් හෙයෙකින් ප්‍රත්‍යයන්ගේ ක්‍ෂය (නිරෝධය) ප්‍රතිවේධ කෙළේ ද එහෙයිනි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
4. තිස්සය, කුමක්හෙයින් කිපෙහි? නහමක් කිපෙව, තොපට ක්‍රෝධ නොකිරීම උතුමැ, තිස්සය, ක්‍රෝධ මාන මකුබව යන මොවුන්ගේ විනය පිණිස මැ සසුන් බඹසර වෙසේ යැයි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
5. කවර දවසෙකැ මම ආරණ්‍යක වූ පාංශුකූලිකාඞ්ග ඇති ගෙපිළිවෙළින් පිඬු සිඟාහැසිරැ මිශ්‍රකභෝජනයෙන් යැපෙන වස්තුකාමක්ලේශකාමයන්හි අපේක්‍ෂා රහිත වූ ‘නන්‍ද’ දක්නෙම් දැ’ යි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
6. කුමක් නසා සුවසේ හොවී ද, කුමක් නසා ශෝක නොකෙරේ ද, ගෞතමයන් වහන්ස, කවර එක් ධර්‍මයක්හුගේ වධය රුචිකරවු දැ’ යි.
7. ක්‍රෝධය නසා (ක්‍රෝධපරිදාහයෙන් නොදැවෙනුයෙන්) සුවසේ හොවී, ක්‍රෝධය නසා (ක්‍රෝධනාශයෙන් නට දොම්නස් ඇතියෙන්) ශෝක නො කෙරෙයි, දෙවිය, විෂ (දුක්ඛ) මුල ඇති (කිපියහුට පෙරළා කිපීම ආදීන්) මධුර අන්තය ඇති ක්‍රෝධයාගේ වධය (නැසීම) බුද්ධාදි ආර්‍ය්‍යයෝ පසසති, ඒ ක්‍රෝධය මාර්‍ගයෙන් සමුච්ඡේද කොට ශෝක නො කෙරේ මැයි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
8. සමුදාචාරවශයෙන් උපන් කුමක් නසන්නේ ද, උපන් කුමක් තම සන්තානයෙන් දුරු කරන්නේ ද, ධීරතෙමේ කුමක් ප්‍රහීණ කරන්නේ ද, කුමක් අවබෝධ කිරීම සුවවන්නේ ද?
9. මාර්‍ගයෙන් නොනැසූ හෙයින් සමුදාචාර වශයෙන් උපන් ක්‍රෝධය නසන්නේ ය, උපන් රාගය දුරුකරන්නේ ය, ප්‍රාඥතෙමේ අවිද්‍යාව ප්‍රහීණ කරන්නේ ය, චතුස්සත්‍යාවබෝධය සුඛ වන්නේ යි.
මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.