3. 2. 14.
අධිට්ඨානහාරසම්පාතය
එහි අධිට්ඨානහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යැ. තස්මා රක්ඛිතචිත්තස්ස යනු (සාමාන්‍යයෙන් දෙසනලද හෙයින්) ඒකත්තතා යැ, ‘චිත්තං මනෝ විඤ්ඤාණං’ මේ වේමත්තතා යි. සම්මාසඞ්කප්පගෝචරො යනු ඒකත්තතා යැ, නෙක්ඛම්මසඞ්කප්ප යැ, අව්‍යාපාදසඞ්කප්ප යැ, අවිහිංසාසඞ්කප්ප යැ යන මේ වේමත්තතා යි. සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු ඒකත්තතා යැ, සම්මාදිට්ඨි නම් : යම් දුක්ඛයෙහි ඥානයෙක්
දුක්ඛසමුදයෙහි ඥානයෙක් දුක්ඛනිරෝධයෙහි ඥානයෙක් දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥානයෙක් මාර්‍ගයෙහි ඥානයෙක් හේතුයෙහි ඥානයෙක් හේතුසමුත්පන්නධර්‍මයන්හි ඥානයෙක් ප්‍රත්‍යයෙහි ඥානයෙක් ප්‍රත්‍යසමුත්පන්නධර්‍මයන්හි ඥානයෙක් ඇද්ද, ඒ ඒ ධර්‍මයෙහි යම් යථාභූතඥානදර්‍ශනයෙක් අභිසමයයෙක් සම්ප්‍රතිවේධයෙක් සත්‍ය හෙයින් විෂයාවබෝධයෙක් ඇද්ද, මේ වේමත්තතා යි. ඤත්‍වාන උදයබ්බයං යනු ඒකත්තතා යැ, උදයඥානයෙන් - අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, (මෙසේ සියල්ල) සමුදය වේ. ව්‍යයඥානයෙන් - අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි, සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි, (මෙසේ සියල්ල) නිරෝධය වේ. මේ වේමත්තතා යි. ථීනමිද්ධාභිභූ භික්ඛු යනු ඒකත්තතා යැ, ‘ථීන’ නම් : චිත්තයාගේ යම් අකර්‍මණ්‍ය බවක් ඇද්ද එයයි, ‘මිද්ධ’ නම් කායයාගේ යම් හැකුළුණුබවක් ඇද්ද එයයි. මේ වේමත්තතා යි. සබ්බා දුග්ගතියො ජහෙ යනු ඒකත්තතා යැ, දෙවිමිනිසුන් පිණිස අපායයෝ දුර්‍ගති යැ, නිර්‍වාණය හෝ පිණිස සියලු උපප්‍රාප්තීහු දුර්‍ගති යැ. මේ වේමත්තතා යි.
අධිට්ඨානහාරසම්පාතය යොදනලදී.
3. 2. 15.
පරික්ඛාරහාරසම්පාතය
එහි පරික්ඛාරහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යන ගාථා යැ, මේ ගාථාධර්‍මය ශමථ විදර්‍ශනා දෙකට පරිෂ්කාර යි.
පරික්ඛාරහාරසම්පාතය යොදනලදී.
3. 2. 16.
සමාරෝපනහාරසම්පාතය
ඒ සොළොස් හාරසම්පාතයන් කෙරෙහි සමාරෝපනහාරසම්පාත කවරෙ යැ :
“තස්මා රක්ඛිතචිත්තස්ස -පෙ- සබ්බා දුග්ගතියො ජහෙ” යනු නිදර්‍ශන යි.
තස්මා රක්ඛිතචිත්තස්ස යනු ත්‍රිවිධ සුචරිතයනට පදට්ඨාන යි. චිත්තය රක්ඛිත කල්හි ඒ කායකර්‍මය වාක්කර්‍මය මනඃකර්‍මය රක්නාලද වෙයි. සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු සම්‍යග්දෘෂ්ටිය භාවිත කල්හි ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය භාවිත වෙයි. කවර කරුණින යත් : සම්‍යග්දෘෂ්ටියෙන් සම්‍යක්සංකල්පය උපදී, සම්‍යක්සංකල්පයෙන් සම්‍යග්වචනය උපදී, සම්‍යග්වචනයෙන් සම්‍යක්කර්‍මාන්තය උපදී, සම්‍යක්කර්‍මාන්තයෙන් සම්‍යගාජීවය උපදී, සම්‍යගාජීවයෙන් සම්‍යග්ව්‍යායාමය උපදී, සම්‍යග්ව්‍යායාමයෙන් සම්‍යක්ස්මෘතිය උපදී, සම්‍යක්ස්මෘතියෙන් සම්‍යක්සමාධිය උපදී, සම්‍යක්සමාධියෙන් සම්‍යග්විමුත්තිය උපදී, සම්‍යග්විමුක්තියෙන් සම්‍යග්විමුක්තිඥානදර්‍ශනය උපදී, එහෙයිනි. මේ අනුපාදිශේෂපුද්ගල ද අනුපාදිශේෂනිර්‍වාණධාතු ද වේ.
සමාරෝපනහාරසම්පාතය යොදනලද වේ.
එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන්වහන්සේ :
“ව්‍යඤ්ජන පර්‍ය්‍යෙෂණ විසින් පළමු කොට සොළසහාරයෝ යෙදියැයුත්තාහ, දිසාලෝචනනයින් ප්‍රථමදිශාදිය අවලෝකන කොට අඞ්කුසනයින් දිශාභූත ධර්‍මයන් සූත්‍රයෙන් නිර්ධාරණ කොට නන්‍දියාවට්ටාදි තුන් නයින් සූත්‍රය වර්‍ණනා කරන්නේ ය” යි.
හාරසම්පාතය යොදනලද්දේ යි.