සම්පාත
3. 2. 1.
දේසනාහාරසම්පාතය
1. පළමු කොට (බ්‍යඤ්ජනපර්‍ය්‍යෙෂණ හෙයින්) සොළස හාරයෝ යුත්තාහ. දිසාලෝචන නයින් ප්‍රථමදිශාදිය අවලෝකන කොට අඞ්කුසනයින් දිශාභූත ධර්‍මයන් සූත්‍රයෙන් නිර්ධාරණ කොට නන්‍දියාවත්තාදි අර්‍ත්‍ථනයත්‍රයෙන් සූත්‍රය වර්‍ණනා කරන්නේ යි.
මේ ගාථාව උද්දේසයෙහි ලා වදාරනලද්දී ය. ඒ ගාථායෙහි නිද්දේසය කොහි දී දැක්කයුත්තේ යැ යත් : හාරසම්පාතයෙහි දැක්කයුතු. (හාරවිභඞ්ගවාරයෙහි නොයෙක් සූත්‍රප්‍රදේශයන්ගෙන් ඒ ඒ හාරයන්ගේ විභාගය දක්වනලද්දේ ය. සූත්‍රයන්හි හාරයන්ගේ යෝජනාක්‍රමය දැක්වීම හාරසම්පාතවාරයෙහි ස්වරූපය යි.) එහි දේසනාහාරසම්පාතය කවරෙ යැ :
2. ස්මෘතිආරක්‍ෂාභාවයෙන් අගුප්ත වූ ශාශ්වතාදි මිත්‍යාභිනිවේශයෙන් දූෂිත වූ චිත්තචෛතසිකයන්ගේ අකල්‍යතාලක්‍ෂණ ථීන - මිද්ධ දෙකින් මඩනාලද ෂඩ්විඥානකාය සංඛ්‍යාත චිත්තය හේතු කොටගෙන ක්ලේශාදි සියලු මාරයාගේ වසයට (යථාකාමකරණියවබට) පැමිණේ ය’ යි.
අරක්ඛිතෙන චිත්තේන’ යි කුමක් දෙසනසේක් ද යත් : ප්‍රමාදය යි, ඒ ප්‍රමාදය (ගුණ මරණහෙයින්) මෘත්‍යුමාරයාගේ වසයට කාරණ වෙයි. මිච්ඡාදිට්ඨිහතෙන ච යනු යම් කලෙක අනිත්‍යයෙහි නිත්‍ය යයි දකී ද එකල මිසදිටුයෙන් දූෂිත නමැයි කියනු ලැබේ. ඒ නිත්‍යදර්‍ශනය විපර්‍ය්‍යාසග්‍රාහ යැ. ඒ විපල්ලාසය වැලිත් කුමක් ලක්‍ෂණ කොට ඇත්තේ යැ යත් : විපල්ලාසය විපරීතව ගැනීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ. ඒ විපරීත ග්‍රාහය කුමක් විපර්‍ය්‍යස්ත කෙරෙයි යත් : සංඥා යැ චිත්ත යැ දෘෂ්ටි යැ යන තුන් ධර්‍මයන් විපර්‍ය්‍යස්ත කෙරෙයි. හේ කොහි විපර්‍ය්‍යස්ත කෙරෙයි යත් : (පඤ්චස්කන්‍ධ සංඛ්‍යාත) ආත්මභාවවස්තු සතරෙහි යැ - රූපය ආත්මහෙයින් දෘෂ්ටිවශයෙන් දකී, (ගිනිසිළත් එලියත් මෙන් රූප - ආත්ම නොවෙන් ගැනීමෙනි.) ආත්මය රූපවත් යයි හෝ දකී, (රුකෙහි සෙවණ මෙන් අරූපය ආත්ම යයි ගැනීමෙනි.) ආත්මයෙහි රූපය ඇතැයි හෝ දකී, (මලෙහි සුවඳ මෙන් අරූපය මැ ආත්මය යි ගැනීමෙනි) රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකී. (කරඬුයෙහි මැණික මෙන් අරූපය මැ ආත්මයයි ගැනීමෙනි.) මෙසේ වේදනාව … සංඥාව … සංස්කාරයන් … විඥානය ආත්ම විසින් දකී,
ආත්මය විඥානවත් යයි හෝ ආත්මයෙහි විඥානය ඇතැයි හෝ විඥානයෙහි ආත්මය ඇතැයි හෝ දෘෂ්ටිවශයෙන් දකී. එහි රූපය ‘අශුභයෙහි ශුභ යැ’ යන පළමුවන විපර්‍ය්‍යාසවස්තු යැ, වේදනාව ‘දුඃඛයෙහි සුඛ යැ’ යන දෙවැනි විපර්‍ය්‍යාසවස්තු යැ, සංඥාව ද සංස්කාරයෝ ද ‘අනාත්මයෙහි ආත්ම යැ’ යන තුන්වැනි විපර්‍ය්‍යාසවස්තු යැ, විඥානය ‘අනිත්‍යයෙහි නිත්‍ය යැ’ යන සිවුවැනි විපර්‍ය්‍යාසවස්තු යි.
තෘෂ්ණාව ද අවිද්‍යාව ද යන ධර්‍මයෝ දෙදෙන චිත්තයම සංක්ලේශයෝ යැ, තෘෂ්ණායෙන් වැසුණු සිත ‘අශුභයෙහි ශුභ යැ, දුඃඛයෙහි සුඛ යැ, යන විපර්‍ය්‍යාස දෙකින් විපර්‍ය්‍යස්ත කෙරෙයි. දෘෂ්ටියෙන් වැසුණු සිත ‘අනිත්‍යයෙහි නිත්‍ය යැ අනාත්මයෙහි ආත්ම යැ’ යන විපර්‍ය්‍යාස දෙකින් විපර්‍ය්‍යස්ත කෙරෙයි. එහි යම් දිට්ඨිවිපල්ලාසයෙක් ඇද්ද එය අතීතරූපය ආත්ම විසින් දකී, අතීත වේදනාව … අතීත සංඥාව … අතීත සංස්කාරයන් … අතීත විඥානය ආත්ම විසින් දකී. එහි යම් තණ්හාවිපල්ලාසයෙක් ඇද්ද එය අනාගත රූපය සප්‍රීතික තෘෂ්ණාවෙන් සතුටු වෙයි, අනාගත වේදනාව … අනාගත සංඥාව … අනාගත සංස්කාරයන් … අනාගත විඥානය කැමැතිවෙයි. තෘෂ්ණාව ද අවිද්‍යාව ද යන ධර්‍මයෝ දෙදෙන සිතට උපක්ලේශ වෙති. ඒ තෘෂ්ණා අවිද්‍යා දෙකින් විශුද්ධ වන සිත සියලු කෙලෙසුන්ගෙන් විශුද්ධ වෙයි. අවිජ්ජානීවරණ ඇති තණ්හා සංයෝජන ඇති (සිත නොරක්නාලද මිසදිටුයෙන් දූෂිත වූ) ඒ සත්ත්‍වයන්ගේ වරක් නිරයෙහි වරක් තිරිසන්යොන්හි වරක් ප්‍රේත්‍යවිෂයෙහි වරක් අසුරකායයෙහි වරක් දෙව්ලොවැ වරක් මිනිස්ලොවැ සංධාවන සංසරණ කරනුවන්ගේ සසරැ පුර්‍වකෝටිය නො පැනේ.
ථීනමිද්ධාභිභූතෙන යනු ථීන නම් : චිත්තයාගේ යම් අකල්‍යබවක් අකර්‍මණ්‍යබවක් ඇද්ද එයයි. මිද්ධ නම් : කායයාගේ යම් හැකිලුණුබවක් ඇද්ද එය යි. වසං මාරස්ස ගච්ඡති යනු ක්ලේශමාරයාගේ ද සත්ත්‍වමාරයාගේ ද වසයට පැමිණෙයි. යම් හෙයකින් හේ තෘෂ්ණාදෘෂ්ටීන් වැසුණේ සසරට අභිමුඛ වූයේ ද එහෙයිනි. භාග්‍යවතුන් විසින් දුක්ඛසත්‍යය ද සමුදයසත්‍යය ද යන මේ සත්‍යයෝ දෙදෙන දේශනා කරනලද්දාහුය. බුදුහු ඒ සත්‍යද්වයාගේ පරිඥාව පිණිස ද ප්‍රහාණය පිණිස ද දහම් දෙසනසේක. දුක්ඛයාගේ පරිඥානය පිණිස යැ සමුදයයාගේ ප්‍රහාණය පිණිස යි. යමකින් පරිඥානය කෙරේ ද යමකින් ප්‍රහාණය කෙරේ ද මේ මාර්‍ග යැ. තෘෂ්ණාවගේත් අවිද්‍යාවගේත් යම් ප්‍රහාණයෙක් ඇද්ද මේ නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ, බුදුහු : “අරක්ඛිතෙන චිත්තේන” යනාදිය. එයින් වදාළහ. ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ “අස්සාදාදීනවතා” යනාදිය.
දේසනාහාර සම්පාතය යොදන ලද්දේ යි.
3. 2. 2.
විචයහාරසම්පාතය
එහි විචයහාරසම්පාතය කවරෙ යැ : ඒ දේසනාහාරයෙහි විපල්ලාසහේතුභාවයෙන් නිර්ධාරණ කළ තෘෂ්ණාව කුශල ද අකුශල දැයි ද්විවිධ වන්නී ය. අකුශල තෘෂ්ණාව සසරට පමුනුවන්නී ය, (සංසාරනායිකා යයි සේයි.) කුශලතෘෂ්ණාව අපචය සංඛ්‍යාත නිවනට පමුණුවන ප්‍රහාණතෘෂ්ණා යි. මානය ද දෙවැදෑරුම් වෙයි : කුශල ද අකුශල දැයි කියා යි. (සේවිතව්‍ය වූ) යම් මානයක් නිසා මානය ප්‍රහාණ කෙරේ ද, මේ මානය කුශල යැ, යළි යම් මානයෙක් දුක උපදවා ද, මේ මානය අකුශල යි. එහි යම් නෛෂ්ක්‍රම්‍ය නිශ්‍රිත වූ දොම්නසෙක් ඇද්ද, “ආර්‍ය්‍යයෝ ශාන්ත වූ අර්‍හත්ඵල සංඛ්‍යාත යම් ආයතනයක් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කෙරෙත් ද,