3. 1. 4.
පදට්ඨානහාරවිභඞ්ගය
එහි පදට්ඨානහාරය කවරෙ යත්: “ධම්මං දේසේති ජිනෝ” යන මේ පදට්ඨාන හාර යැ, කුමක් දෙසන සේක් ද යත්: අවිද්‍යාව සියලු (චතුස්සත්‍ය) ධර්‍මයන්ගේ අවිපරීත ස්වභාවය ප්‍රතිවේධ නොකිරීම ලක්‍ෂණ කොට ඇත්තීය. ඒ අවිද්‍යාවට චතුර්විධ විපල්ලාසයෝ පදට්ඨාන - ආසන්නකාරණ යි. තෘෂ්ණාව (අරමුණෙහි) බැසැගෙන සිටීම ලක්‍ෂණ කොට ඇත්තීය. ඒ තෘෂ්ණාවට ප්‍රියස්වභාවය මධුරස්වභාවය පදට්ඨාන යැ. ලෝභය (ඉෂ්ටවස්තු) ප්‍රාර්‍ත්‍ථනා කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ ලෝභයට අදත්තාදානය පදට්ඨාන යැ. ශුභසංඥාව පැහැ සටහන් ව්‍යඤ්ජනයන් ග්‍රහණය කිරීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ ශුභසංඥාවට ඉන්‍ද්‍රිය අසංවරය පදට්ඨාන යැ. සුඛසංඥාව සාස්‍රව වූ ස්පර්‍ශයට පැමිණ සිටීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඊට ආස්වාදය පදට්ඨාන යැ. නිත්‍ය සංඥාව (උත්පාදාදි) සඞ්ඛත ලක්‍ෂණ ඇති ධර්‍මයන් නුවණින් නොදැකීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඊට විඥානය පදට්ඨාන යැ. ආත්මසංඥාව අනිත්‍ය දුඃඛසංඥාවන් නොදැකීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ ආත්මසංඥාවට නාමකය පදට්ඨාන යි.
මාර්‍ගඥානවිද්‍යාව සියලු ධර්‍මයන් මොනොවට ප්‍රතිවේධ කිරීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ විද්‍යාවට චතුස්සත්‍ය සංඛ්‍යාත සකල නෙයධර්‍මය පදට්ඨාන - ආසන්න කාරණ යැ. සමථය චිත්තවික්‍ෂේප සංඛ්‍යාත ඖද්ධත්‍යය විෂ්කම්භණ කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ සමථයට අශුභයෝ පදට්ඨාන යැ. අලෝභය ඉච්ඡාවවර විෂ්කම්භණය ලක්‍ෂණකොට ඇත්තේ යැ, ඒ අලෝභයට අදත්තාදාන වීරමරණය පදට්ඨාන යැ. අදෝසය නිදුක්බව ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ අද්වේෂයට ප්‍රාණවධ වීරමරණය පදට්ඨාන යැ. අමෝහය වස්තූන්ගේ අවිප්‍රතිපාදනය ලක්‍ෂණ කොට ඇත්තේ යැ. ඒ අමෝහයට සම්‍යක්ප්‍රතිපත්තිය පදට්ඨාන යැ. අශුභසංඥාව විනීලක විපුබ්බක නිමිත්තග්‍රණය ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ අශුභසංඥාවට නිර්විදඥානය පදට්ඨාන යැ. දුඃඛසංඥාව ආස්‍රව සහිත ස්පර්‍ශයාගේ පරිජානනය ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ දුඃඛසංඥාවට වේදනාව පදට්ඨාන යැ. අනිත්‍යසංඥාව සංඛතලක්‍ෂණ ධර්‍මයන් නුවණින් දැකීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, එයට උත්පාදව්‍යයය පදට්ඨාන යැ. අනාත්මසංඥාව සියලු ධර්‍මයන්හි අභිනිවේසය - බැසගෙන සිටීම ලක්‍ෂණ කොට ඇත්තීය, එයට ධර්‍මමාත්‍ර යැ යන සංඥාව පදට්ඨාන යි.
පඤ්ච කාමගුණයෝ කාමරාගයට පදට්ඨාන යැ. රූපී වූ පඤ්චේන්‍ද්‍රියයෝ (රූප සංඛ්‍යාත කය ඇරැබ උපදනා) රූපරාගයට පදට්ඨාන යැ. මන සංඛ්‍යාත ෂෂ්ඨායතනය (භවනිකාන්ති වශයෙන් පවත්නා) භවරාගයට පදට්ඨාන යැ. (රූපාභිනන්‍දනාදි වශයෙන් පවත්නා) නිර්‍වෘතිභවානුර්ශීභාවය පඤ්චෝපාදානස්කන්‍ධයන්ට පදට්ඨාන යැ. පූර්‍වනිවාසානුස්මෘතිය කර්‍මස්වකෘතඥානදර්‍ශනයට පදට්ඨාන යි.
ශ්‍රද්ධාව (හැදැහිලිවශයෙන්) අරමුණට බැසගැනීම - නිශ්චය කිරීම ලක්‍ෂණ කොට ඇත්තීය, අධිමුක්තිය - නිශ්චය කිරීම වැටැහීම් කොට ද ඇත්තීය වෙයි. ප්‍රසාදය (චිත්තකාලුෂ්‍යාපගමයෙන්) නො කැලැඹීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, සම්ප්‍රසාදනය වැටහීම කොට ද ඇත්තේ වෙයි. ශ්‍රද්ධාව හැදැහීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, එයට අවේත්‍යප්‍රසාදය පදට්ඨාන යැ. ප්‍රසාදය ආකාලුෂ්‍යය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එයට ශ්‍රද්ධාව පදට්ඨාන යැ. වීර්‍ය්‍යය ආරම්භය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එයට චතුර්විධ සම්‍යක්ප්‍රධානය පදට්ඨාන යැ. ස්මෘතිය අසම්මෝසය (සිහිකිරීම) ලක්‍ෂණ කොට ඇත්තී යැ, එයට සතරසතිපට්ඨානය පදට්ඨාන යැ. සමාධිය ඒකාග්‍රතා (එක අරමුණක් අග්‍රබව )ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එයට ධ්‍යානයෝ පදට්ඨාන යැ. ප්‍රඥාව සම්‍යග්ඥානය ලක්‍ෂණ කොට ඇත්තී යැ, එයට සත්‍යයෝ පදට්ඨාන යි.
අනෙක් නයෙකි: අයෝනිසෝ මනසිකාරය (සංයෝජනිය ධර්‍මයන්හි) ආස්වාද වශයෙන් මෙනෙහි කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ අයෝනිසෝ මනසිකාරයට අවිද්‍යාව පදට්ඨාන (- ආසන්නකාරණ) යැ. අවිද්‍යාව සිව්සස්හි මුළාවීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ අවිද්‍යාව සංස්කාරයන්ට පදට්ඨාන යැ. සංස්කාරයෝ පුනර්‍භවයාගේ විරූහණය (විපාකධර්‍මතාව) ලක්‍ෂණ කොට ඇත්තාහු යැ, ඔහු ප්‍රතිසන්‍ධිවිඥානයට පදට්ඨාන යැ. විඥානය උපප්‍රාප්තිභව වශයෙන් ඉපදීම කොට ඇත්තේ යැ, එ විඥානය නාමරූපයට පදට්ඨාන යැ. නාමරූපය අරූප - රූපකාය දෙදෙනාගේ සමූහභාවය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය ෂඩායතනයට පදට්ඨාන යි. ෂඩායතනය චක්‍ෂුරාදි ෂඩ්ඉන්‍ද්‍රියයන්ගේ නියම කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය ස්පර්‍ශයට පදට්ඨාන යි. ස්පර්‍ශය චක්‍ෂුරින්‍ද්‍රිය රූපාලම්බන චක්‍ෂුර්විඥානයන්ගේ සන්නිපාතය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය වේදනාවට පදට්ඨාන යි. වේදනාව ඉෂ්ටානිෂ්ට අරමුණුරස විඳීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ වේදනාව තෘෂ්ණාවට පදට්ඨාන යි. තෘෂ්ණාව අරමුණෙහි ගැලීසීටීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ තෘෂ්ණාව උපාදානයට පදට්ඨාන යි. උපාදානය උපප්‍රාප්තිස්කන්‍ධයන් උපදවනු වෙයි, එය භවයට පදට්ඨාන යි. භවය නාමකාය රූපකායයන් ඉපදීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය ජාතියට පදට්ඨාන යි. ජාතිය ස්කන්‍ධයන්ගේ හටගැනීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ ජාතිය ජරාවට පදට්ඨාන යි. ජරාව ආත්මභාවය මිහිකිරීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, එය මරණයට පදට්ඨාන යි. මරණය ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය ශෝකයට පදට්ඨාන යි. ශෝකය චිත්තසන්තාපය කරනු වෙයි, එය පරිදේවයට පදට්ඨාන යි. පරිදේවය වැලැපීම කරනු වෙයි, එය කායික දුකට පදට්ඨාන යි. දුක රූපකායට පෙළනු වෙයි, එය දොම්නසට පදට්ඨාන යි. දොම්නස සිත පෙළනු වෙයි, ඒ දොම්නස උපායාසයට පදට්ඨාන යි. උපායාසය (ආත්මනිශ්‍රය) අභ්‍යන්තරය දවනු වෙයි, එය භවයට පදට්ඨාන යි. යම් කලෙක මේ භවයට අවයව වූ ක්ලේශයෝ - (කර්‍මභව විපාකභව සංඛ්‍යාත අංගයෝ) සමග්‍ර වූවාහු උපන්නාහු වෙත් ද, හේ භව නම, ඒ භවය සංසාරයට පදට්ඨාන යි.
මාර්‍ගය නිමිත්ත පවත්ති දෙකින් නැඟීසිටීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ මාර්‍ගයට නිරෝධයට පදට්ඨාන යි. තීර්‍ත්‍ථ සංඛ්‍යාත බහුශ්‍රැතයකු පර්‍ය්‍යුපාසන කරනබව ධර්මොප සංහිත ප්‍රාමෝද්‍යයට පදට්ඨාන යැ, පීතඤ්ඤැතාව මාත්‍රඥභාවයට පදට්ඨාන යැ, මත්තඤ්ඤැතාව තමා පඤ්චපධානියඞ්ගයෙන් යුත් බව දන්නා ආත්මඥභාවයට පදට්ඨාන යැ, අත්තඤ්ඤැතාව පෙර කළ පින් ඇති බවට පදට්ඨාන යැ, පූර්‍වකෘත පුණ්‍යභාවය ප්‍රතිරූපදේශවාසයට පදට්ඨාන යැ, ප්‍රතිරූපදේශවාසය සත්පුරුෂෝපනිශ්‍රයට පදට්ඨාන යැ, සත්පුරුෂෝපනිශ්‍රය ආත්මසම්‍යක්ප්‍රණිධානය පදට්ඨාන යැ, ආත්ම සම්‍යක්ප්‍රණිධානය ශීලයට පදට්ඨාන යැ, ශීලයෝ අවිප්‍රතිසාරයට පදට්ඨාන යැ, අවිප්‍රතිසාරය ප්‍රාමෝද්‍යයට පදට්ඨාන යැ, ප්‍රාමෝද්‍යය ප්‍රීතියට පදට්ඨාන යැ, ප්‍රීතිය ක්ලේශදරථ සන්හිඳීමට පදට්ඨාන යැ, පස්සද්ධිය සුඛයට පදට්ඨාන යැ, සුඛය සමාධියට පදට්ඨාන යැ, සමාධිය යථාභූතඥානදර්‍ශනයට පදට්ඨාන යැ, යථාභූතඥානදර්‍ශනය (තරුණවිදර්‍ශනාව) නිර්වේදය (බලවවිපස්සනාව) ට පදට්ඨාන යැ, නිබ්බිදාව විරාගයට පදට්ඨාන යැ, විරාගය විමුක්තියට පදට්ඨාන යැ, විමුක්තිය විමුක්තිඥානදර්‍ශනයට පදට්ඨාන යි. මෙසේ යම් කිසි බලවත් ප්‍රත්‍යය සංඛ්‍යාත උපනිශ්‍රයෙක් යම් කිසි ශේෂප්‍රත්‍යයෙක් වේ ද එ හැම පදට්ඨාන යි. ආසන්න කාරණ වේ. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායනස්ථවිරයන් වහන්සේ: “ධම්මං දේසේති ජිනෝ” යී.
පදට්ඨානහාරය යොදන ලදී.