3. 1. 5.
ලක්ඛණහාරවිභඞ්ගය
එහි ලක්‍ෂණහාරය කවරෙ යත්: “වුත්තම්හි ඒකධම්මෙ” යී නිර්දිෂ්ට වු මෙය ලක්‍ෂණහාරයැ. කිනම් ධර්‍මයක් ලකුණු කෙරෙයි යත්: ස්කන්‍ධාදි යම් ධර්‍ම කෙනෙක් සමාන ලක්‍ෂණ වූවාහු ද, ඒ ධර්‍මයන් අතුරෙන් එක් ධර්‍මයක් කී කල්හි අවශිෂ්ට ධර්‍මයෝ කියන ලද්දාහු වෙත්. ඒ කිසෙයින් වන්නේ යැ යත්: මෙසෙයින් වදාළහ, බුදුහු - “මහණෙනි, චක්ඛායතන එක් අරමුණෙක නො පවත්නා හෙයින් අනවස්ථිත යැ වහා නැසෙන හෙයින් ඉත්‍වර යැ කල් නො පවත්නා හෙයින් පරිත්ත යැ වහා බිඳෙන සුලු යැ ස්වවශයෙහි නොපවත්නේ යැ දුකට හේතු යැ ව්‍යසනහේතු යැ සැලෙන පියවි ඇත්තේ යැ උෂ්ණ හස්මයක් බඳු යැ ප්‍රත්‍යයෝත්පන්න යැ අමිත්‍රයන් මැද පවත්නේ යැ” යී. මේ චක්‍ෂුරායතනය වදාළ කල්හි සෙසු ආධ්‍යාත්මික ආයතනයෝ කියන ලද්දාහු වෙති. කවර හෙයින යත්: යම් හෙයකින් සියලු ආධ්‍යාත්මික ෂඩායතනයෝ වධකාර්‍ත්‍ථයෙන් සමාන ලක්‍ෂණ වෙත් ද එහෙයිනි.
මෙසේත් වදාළහ, බුදුහු: “රාධය, අතීත රූපයෙහි අපේක්‍ෂා රහිත වෙව, අනාගත රූපය නහමක් අභිනන්‍දනා කර, ප්‍රත්‍යුත්පන්න රූපයාගේ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ත්‍යාගය පිණිස දුරලීම පිණිස පිළිපදුව” යි. මේ රූපස්කන්‍ධය වදාළ කල්හි ඉතිරිවැ සිටි ස්කන්‍ධයෝ කියන ලද්දාහු වෙති. කවර කරුණින යත්: සියලු මැ පඤ්චස්කන්‍ධයෝ යමකොවාද සූත්‍රයෙහි වධකාර්‍ත්‍ථයෙන් සමාන ලක්‍ෂණ ඇත්තාහු වදාරන ලදහ. මෙසේත් වදාළහ, බුදුහු:
1. යම් කෙනකුන් විසින් නිරතුරු කාගියා සී මොනොවට ආරබ්ධ වී ද, ඔහු කෘත්‍යයෙහි සතතභාවයෙන් කරනසුලු වූවාහු නො කටයුතු නො සෙවුනාහු වෙත්.
මෙසේ කායගතාසතිය වදාළ කල්හි වේදනාගතාසති චිත්තගතාසති ධම්සගතාසති ද වදාරන ලද්දාහු වෙත්. එසෙයින් “යං කිඤ්චි දිට්ඨං වා සුතං වා මුතං වා” යී වදාළ කල්හි ‘විඤ්ඥාත’ ය වදාරන ලද වේ.
මෙසේත් වදාළහ, බුදුහු: “එහෙයින් මහණ, මෙහි ලා තෙපි … කෙලෙස් තවන වැර ඇතිව සම්‍යක් ප්‍රඥා ඇතිව ස්මෘතිමත්‍ව කායලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට රූපකයෙහි (කේසලෝමාදි) කය අනිත්‍යාදි විසින් පුනපුනා බලමින් වාස කරව”
(මෙහි) “ආතාපී” යනු වීර්ය්‍යේන්‍ද්‍රියයි. “සම්පජානෝ” යනු ප්‍රඥේන්‍ද්‍රිය යි, “සතිමා” යනු ස්මෘතීන්‍ද්‍රිය යි, “විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දොමනස්සං” යනු සමාධීන්‍ද්‍රිය යි. මෙසේ කයෙහි කායානුදර්ශීව වාස කරනුවහුට සතර සීවටන්හු භාවනායෙන් පිරීමට යෙති. කවර කරුණින යත්: සතර ඉනිද්‍රියයන්ගේ සමානලක්‍ෂණත්‍වය හෙයිනි. සතර සීවටන් වැඩෙන කල්හි සතර සම්‍යක්ප්‍රධානයෝ භාවනායෙන් පිරීමට යෙති. සතර සම්‍යක්ප්‍රධානයන් වැඩෙත්ම සතරඍද්ධිපාදයෝ භාවනායෙන් පිරීමට යෙත්. සතර ඍද්ධිපාදයන් වැඩෙත් ම පඤ්චේන්‍ද්‍රියයෝ භාවනායෙන් වැඩීමට යෙති. පඤ්චේන්‍ද්‍රියයන් වැඩෙත් ම පඤ්ච බලයෝ භාවනායෙන් පිරීමට යෙති. පඤ්චබලයන් වැඩෙත්ම සප්ත බෝධ්‍යඞ්ගයෝ භාවනායෙන් පිරීමට යෙති. සප්ත බෝධ්‍යඞ්ගයන් වැඩෙත් ම ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය භාවනායෙන් පරිපූර්‍ණ බවට යෙයි, ආර්‍ය්‍යයමාර්‍ගඥානබෝධයට යන බෝධිපාක්‍ෂික වු හැම ධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්‍ණ බවට යෙත්. කවර කරුණින යත්: බෝධඞ්ගම වූ බෝධිපාක්‍ෂික වු හැම ධර්‍මයෝ නෛර්‍ය්‍යාණික ස්වභාවයෙන් සමානලක්‍ෂණ වූවාහු ද එහෙයිනි. ඒ දහම්හු සමානලක්‍ෂණ හෙයින් භාවනායෙන් වැඩීමට යෙත්.
මෙසේ අකුශලධර්‍මයෝ ද (පහානෙකට්ඨතා විසින්) සමාන ලක්‍ෂණ ඇති බැවින් ප්‍රහාණයට නැසීමට යෙති: සතර සීවටන් වඩනු ලබත් මැ (අශුභයෙහි ශුභ යැ යනාදි) සතර විපල්ලාසයෝ ප්‍රහීණ වෙති. ඔහුට සතර ආහාරයෝ ද පරිඥානයට යෙති. කාමාදි සතර උපාදානයෙන් උපාදාන රහිත වූයේ වෙයි, සතර යෝගයන්ගෙනුදු විසංයුක්ත වෙයි, සතර ග්‍රන්‍ථයන්ගෙනුදු විප්‍රයුක්ත වෙයි, කාමාදි ආස්‍රවයන්ගෙනුදු අනාස්‍රව වෙයි. සතර ඕඝයන්ගෙනුදු උත්තීර්‍ණ වූයේ වෙයි, ශල්‍යයන්ගෙනුදු විගතශල්‍ය වෙයි, ඔහුට සතර විඥානස්ථිතිහු ද පරිඥානයට යෙති, ඡන්‍දාදි අගතිගමනයෙනුදු අගතියට නොයෙයි. මෙසේ අකුශලධර්‍මයෝ ද සමාන ලක්‍ෂණ බැවින් ප්‍රහාණයට අභ්‍යස්තයට යෙත්.
තවද යම් දේශනායෙක්හි (රූප්පන ලක්‍ෂණ වූ අෂ්ටවිධ) රූපෙන්‍ද්‍රියය වදාරන ලද ද එහි මැ රූපධාතු රූපස්කන්‍ධ රූපායතනය ද දෙසන ලද්දාහු වෙත්. තවද යම් තැනක සුඛවේදනාව දෙසන ලදුද, එහි සුඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය දුක්ඛසමුදය ආර්‍ය්‍යයසත්‍ය ද දේසිත යැ, තවද යම් දේශනායෙක දුක්ඛවේදනාව දෙසන ලදු ද, එහි දුක්ඛින්‍ද්‍රිය දෝමනස්සින්‍ද්‍රිය දුක්ඛආර්‍ය්‍යයසත්‍ය ද දේසිත යැ. තවද යම් තැනෙක අදුක්ඛමසුඛවේදනාව දෙසන ලදු ද, එහි උපෙක්ඛින්‍ද්‍රියය ද සියලු පටිච්චසමුප්පාදය ද දේසිත යි. කවර කරුණින යත්: අදුක්ඛමසුඛ වේදනායෙහි අවිද්‍යාව අනුශය කෙරෙයි, එහෙයිනි. අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාවප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාවප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණය වෙයි, ශෝක යැ පරිදේව යැ දුඃඛ යැ දෞර්‍මනස්‍ය යැ උපායාස යැ යන මොහු වෙත්. ඒ අනුලෝමදේශිත ප්‍රතීත්‍යසමුත්පාදය සරාග - සදෝස - සමෝහ වු සංක්ලේශපක්‍ෂය හා පැමිණවියැත්තේ යැ, (ප්‍රතිලෝමදේශිත ප්‍රතීත්‍යසමුත්පාදය) වීතරාග - වීතදෝස - වීතමෝහ වූ ආර්‍ය්‍යධර්‍මයන් හා පැමිණවියැයුත්තේ යි.
මෙපරිද්දෙන් යම් ධර්‍ම කෙනෙක් (පඨවි ආදි වූ ද ඵස්සාදි වූ ද රූපාරූපධර්‍මයන්ගේ සංධාරණ සංඝට්ටනාදි) කෘත්‍ය හෙයින් ද, (කක්ඛළ ඵූසනාදි) ස්වභාවලක්‍ෂණ හෙයින් ද, (රුප්පන නමනාදි) සාමාන්‍යලක්‍ෂණ හෙයින් ද, (සඞ්ඛතධර්‍මයන්ගේ) භඞ්ග - උත්පාද හෙයින් ද, සමාන ලක්‍ෂණ වූවාහු නම්, ඒ ධර්‍මයන් අතුරෙන් එක් ධර්‍මයක් වදාළ කල්හි අවශිෂ්ට ධර්‍මයෝ කියනලද්දාහු වෙත්. එයින් වදාළහ: ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ - “වුත්තම්හි එකධම්මෙ” යී.
ලක්ඛණහාරය යොදනලද්දේ යි.
3. 1. 6.
චතුබ්‍යුහහාරවිභඞ්ගය
එහි චතුබ්‍යුහහාරය කවරෙ යත්: “නෙරුත්තමධිප්පායො” යන නිර්දේශ යැ, මේ චතුබ්‍යුහහාරයි. බ්‍යඤ්ජනද්වාරයෙන් සූත්‍රයාගේ නිර්වචනය ද, (දේශකයාණන්ගේ) අදහස ද, දේශනානිදානය (කාරණය) ද, පූර්‍වාපරානුසන්‍ධිය ද, සෙවියයුත්තාහ.