විභඞ්ග
3. 1. 1.
දේසනාහාරවිභඞ්ගය
එහි දේසනාහාර කවරෙ යත්: ‘අස්සාදාදීනවතා’ යන ගාථා යි. මේ දේසනාහාර යැ. කුමක් දේශනා කෙරෙති යත්: ආස්වාදය ආදීනවය නිස්සරණය ඵලය උපායය ආණ්ත්තිය යන මේ දෙසෙති.
“මහණෙනි, තොපට ආදිකලණ වූ මැදකලණ වූ අවසනැ කලණ වූ අර්‍ත්‍ථසම්පත්තියෙන් සාර්‍ත්‍ථ වූ ව්‍යඤ්ජනසම්පත්තියෙන් සව්‍යඤ්ජන වූ එළැවියැයුතු නැතියෙන් ඒකාන්තපරිපූර්‍ණ වූ හළයුතු නැතියෙන් පරිශුද්ධ වූ දහමක් දෙසමි. සසුන්බඹසර පවසමි” යි.
එහි ආස්වාද කවරෙ යැ:
1. මනාපිය රූපාදි ත්‍රෛභූමක වස්තුකාමය කැමැතිවන ඒ සත්‍වහට ඉදින් ඒ කාමවස්තුව සමෘද්ධ වේ නම් (ලැබේ නම්) ඒ සත්ත්‍ව රිසිවූ කාමය ලැබ ඒකාන්තයෙන් තුටු සිත්ඇතියේ වෙයි.
ඉච්ඡිතලාභ ප්‍රීතිමනස්කතාදිය ආස්වාද කටයුතු හෙයින් මේ ආස්වාද යි.
එහි ආදීනව කවරෙ යැ:
2. වස්තුකාමයන් කැමතිවන උපන් තෘෂ්ණා ඇති ඒ සත්ත්‍වයාගේ ඒ වස්තුකාමයෝ ඉදින් පිරිහෙත් නම්, එකල්හි හේ අයෝමයාදි ශල්‍යයෙකින් විදුනාලද්දකු සෙයින් පෙළේ යයි.
විපරිණාමාන්‍යථායෙන් පෙළෙනුයේ මේ ආදීනව යි.
එහි නිස්සරණ කවරෙ යැ:
3. යම් මහණෙක් (ජීවත්වනු කැමැති පුරුෂයෙක්) තමාගේ පාදය කෙරෙන් සර්‍පයකුගේ හිස සෙයින් වස්තුකාම ක්ලේශකාමයන් (විෂ්කම්භණ විසින් හෝ සමුච්ඡේද විසින් හෝ) දුරුකෙරේ ද ඒ මහණ ලොවැ විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව ස්මෘතිමත්‍ව ඉක්මවාලයි.
මේ නිවන් අරමුණු කොට ඇති මාර්‍ගඥානයෙන් තෘෂ්ණාව දුරැලීම නිස්සරණ යි.
එහි ආස්වාද කවරෙ යැ.
4. යම් මිනිසෙක් හැල් ආදි කෙත් හෝ ගෘහවස්තු ආදි වතු හෝ අමුරන් හෝ ගවයන් අසුන් හෝ දස්කම්කරුපුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ නෑයන් හෝ වෙනත් මනාපිය රූපාදි බොහෝ කාමවස්තූන් ක්ලේශකාම වශයෙන් පුනපුනා ප්‍රාර්‍ත්‍ථනා කෙරේ ද.
මේ කෙත් වත් ආදීන්ගේ පුනපුනා ප්‍රාර්‍ත්‍ථනාව ආස්වාද යි.
එහි ආදීනව කවරෙ යැ:
5. අබල වූ කෙලෙස්හු ඒ කාමගිද්ධ මිනිසා (ප්‍රකට වූ ද අප්‍රකට වූ ද) උපද්‍රවයෝ ඔහු මැඩපියති. එහෙයින් සිදුරු වු නැවකට ජලය වදනා සෙයින් ජාත්‍යාදි දුක ඔහු අනුව යේ.
මේ ජාත්‍යාදි දුක් අනුබදනාබව ආදීනව යි.
එහි නිස්සරණ කවරැ:
6. එහෙයින් සත්ත්‍ව තෙමේ හැම කල්හි සිහිඇතිවැ කාමයන් දුරුකරන්නේ යැ, මෙසේ ඒ කාමයන් දුරුකොට බිඳුණු නැව දිය ඉස පරතෙර යන්නකු සෙයින් චතුරෝඝය තරණය කරන්නේ යි.
මේ චතුරෝඝතරණය කොට අනුපාදිශේෂව පිරිනිවීම නිස්සරණ යි.
එහි ඵලය කවරෙ යැ:
7. දානාදි පුණ්‍යධර්‍මය ඒකාන්තයෙන් ඒ ධර්‍මයෙහි හැසිරෙන පුඟුල්හු (දිට්ඨධම්මික සාම්පරායික අනර්‍ත්‍ථයෙන්) රක්නේ ය. වැසිකලැ මහත් වූ ඡත්‍රය එය ධරන්නහු යම්සේ රකී ද එමෙනි. ධර්‍මය මොනොවට පරිචිත කල්හි තෙල අනුසය වෙයි: ධර්‍මචාරී පුද්ගල අපායාදි දුගතියට නොයේ යයි.
මේ දිට්ඨධම්මිකාදි අනර්‍ත්‍ථයෙන් රැකීම ධර්‍මයාගේ ඵල යි.
එහි උපාය කවරෙ යැ:
8. සියලු සඞ්ඛත සංඛ්‍යාත ප්‍රත්‍යයොත්පන්නධර්‍මයෝ අනාත්මයෝ යයි මෙසේ යම් ක්ලේශ (විදසුන් තෙදගන්වා) අනාත්මානුදර්‍ශන ප්‍රඥායෙන් දකී ද, එකල්හි (පෙර මැ අනිත්‍යදුඃඛයන් දුටුහෙයින්) විදර්‍ශනාගෝචර වූ පඤ්චස්කන්‍ධදුඃඛයෙහි නිර්වේදයට පැමිණෙයි. තෙල නිර්වේදය විශුද්ධිසංඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගයට උපාය (මාර්‍ග) වේ යයි.
මේ නිබ්බින්‍දනය විසුද්ධි අධිගමයට හේතු බැවින් උපාය යි.
එහි ආණත්ති කවර යැ:
9. ඇස් ඇති පුරුෂයෙක් කායිකවීර්‍ය්‍යය පවත්නා කල්හි විෂමභූමිප්‍රදේශ හෝ චණ්ඩතායෙන් විෂම වූ ඇත් අස් ආදීන් හෝ දුරුකොට යන්නා සේ සත්ලොවැ නුවණැති පණ්ඩිත පුරුෂ පාපයන් දුරැලන්නේ යි.
‘පව් දුරැලියයුතුය’ යනු ධර්‍මරාජ වූ බුදුරදුන්ගේ අණ යැ. මේ ආණත්ති යි.
මෙසේ වෙන වෙන සූත්‍රයෙහි ආ ඵල උපාය ආණත්ති උදාහරණ කොට යළි එක් මැ සූත්‍රයෙහි ආ සැටි දක්වන්නට පාරායනවර්‍ගයෙහි මෝඝරාජසූත්‍රය නිදසුන් කෙරෙති.
‘මෝඝරාජය, සියලු මැ සංස්කාරලෝකය (වසයෙහි නො පවත්නාබව සැලකීම් වශයෙන් හෝ සිස්බව නුවණින් දැකීම් වශයෙන් හෝ) ශුන්‍ය වශයෙන් බලව’ යන ධර්‍මරාජයන්ගේ වචනය විධාන වනුයෙන් ‘ආණත්ති’ යැ.
‘හැම කල්හි ස්මෘතිමත් වූයෙහි’ යනු උපාය යැ. (ස්මෘතියෙන් දර්‍ශනය වන හෙයිනි.)
‘විංශද්වස්තුක ආත්ම (සත්කාය) දෘෂ්ටිය උදුරාපියා (නසා) මෙසේ මරණය ඉක්ම වනුයෙහි වන්නේය’ යන මේ දේශනා ඵලය යි.
(ආස්වාදාදිය උදාහරණ විසින් දක්වා දැන් පුද්ගලවිභාගයෙන් දේශනාවිභාගය වදාරති:)