3. 1. 2.
විචයහාරවිභඞ්ගය
එහි විචයහාර කවරෙ යත්: “යං පුච්ඡිතඤ්ච විස්සජ්ජිතඤ්ච”යන ගාථා යි. මේ විචයහාර යි. කුමක් සොයා ද යත්: පදය සොයයි, ප්‍රශ්නය - විසඳුම - පූර්‍වාපරය - ආස්වාදය - ආදීනවය - නිස්සරණය - ඵලය - උපාය - ආණත්තිය - අනුගීතිය සොයයි, සියලු සුත්තගෙය්‍යාදි නවසූත්‍රාන්තයන් සොයයි.
ඒ කෙබඳු වෙයි යත්: ආයුෂ්මත් අජිත තෙරණුවෝ පාරායනයෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ පැන පුළුවුස්ති:
1. (ආයුෂ්මත් අජිත මෙසේ පුළුවුස්සි) සත්ත්‍වලෝක තෙම කවරක්හු විසින් වසනලද ද? කුමක් හේතු කොට ප්‍රකාශයට නොපැමිණේ ද? ඒ ලෝවැසියාට කුමක් අභිලේපන (ඇලීම) යයි වදාරනලද ද? ඒ සත්ත්‍ව ලෝක හට මහත් භයහේතුව කුමක්දැ?යි.
මේ ප්‍රශ්න විසින් කියනලද පද (වාක්‍ය) සතරෙකි. හේ එක ප්‍රශ්නයෙක් වෙයි. කුමක් හෙයින යත්: ලෝක සංඛ්‍යාත එක් වස්තුවක් මුඛ්‍යවශයෙන් ගත් හෙයිනි. එහෙයින් මැ කියයි: “කෙනස්සු නිවුතො ලෝකෝ”යී සත්ත්‍වලෝකය මුඛ්‍ය කොට පුළුවුස්සි. “කෙනස්සු නප්පකාසති” යී ලෝකයාගේ ප්‍රකාශ නොවීම පුළුවුස්සි (විචාරයි.) “කිස්සාභිලේපනං බ්‍රෑසි” යී ලෝකයාගේ (මක්කටාඟිලේපනයක් සෙයින්) ඇලීම විචාරයි. “කිංසු තස්ස මහබ්භයං” යී එ ලෝකයාගේ මැ මහත් භය විචාරයි. ලෝකය ත්‍රිවිධ යැ: (රාගාදි කෙලෙස් බිහිලි බැවින්) කාමාවචරසත්ත්‍ව සංඛ්‍යාත ක්ලේශලෝක යැ, රූපාවචරසත්ත්‍ව සංඛ්‍යාත භවලෝක යැ, අරූපාවචරසත්ත්‍ව සංඛ්‍යාත ඉන්‍ද්‍රියලෝක යි.
එහි මේ විසඳීම යැ:
2. (අජිත’ යී බුදුහු වදාරති) ධර්‍මස්වභාව ප්‍රතිච්ඡාදනලක්‍ෂණ අවිද්‍යාව විසින් සත්ලොව වසන ලද, විචිකිත්සා ප්‍රමාද හේතුයෙන් ප්‍රකාශයට නොපැමිණෙයි, තෘෂ්ණාව අභිලේපන (ඇලීම) යයි කියමි, ජාත්‍යාදි සසරදුක ඒ ලෝකහට මහත් භය වේ යයි.
පෘව්ඡාගාථායෙහි මේ සතරපදයෝ විස්සජ්ජනගාථායෙහි මේ සතරපදයෙන් විසඳනලදහ. ප්‍රථම පදය ප්‍රථම පදයෙන් ද දෙවැන්න දෙවැන්නෙන්ද තෙවැන්න තෙවැන්නෙන් ද සතරවැන්න සතරවැන්නෙන් ද විසඳන ලදි. (ඒ මෙසේයැ: “කෙනස්සු නිවුතො ලෝකෝ” යන ප්‍රශ්නයෙහි “අවිජ්ජාය නිවුතො ලෝකෝ” යනු විසඳීම යැ, නීවරණයන් විසින් ලෝවැසිතෙම වසනලද, එසේ මැය: හැම සත්හු අවිද්‍යා නීවරණ ඇත්තාහ. මේ වදාළහ, බුදුහු: ‘මහණෙනි, හැම සත්නට හැම ප්‍රාණීන්ට හැම භූතයනට කාරණහේයින් එක් මැ නීවරණයක් කියමි. ඒ කවර යැ: අවිද්‍යා යි. හැම සත්හු අවිද්‍යානීවරණඇත්තාහු මැය. තවද මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යාවගේ අනුත්පාදනිරෝධයෙන් ත්‍යාගයෙන් දුරලීමෙන් සත්ත්‍වයනට නීවරණ නැතැයි කියමි’ යි. ඒ “අවිජ්ජාය නිවුතො ලෝකෝ” යන පදයෙන් “කෙනස්සු නිවුතො ලෝකෝ” යන පළමුවන පදයාගේ විසඳීම යොදනලදි.
“කෙනස්සු නප්පකාසති” යන ප්‍රශ්නයෙහි “විවිච්ඡා පමාදා නප්පකාසති” යනු විසඳීම යැ. යම් පුඟුලෙක් නීවරණයන් විසින් පිහිත ද, ඒ පුද්ගල සැකකරයි. විචිකිත්සාව “විවිච්ඡා” නමැයි කියනු ලැබේ. හේ සැකකරනුයේ නොහදහයි. හැදැහිලි නොකරනුයේ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂකරනු පිණිස වීර්‍ය්‍යාරම්භ නොකෙරෙයි. හේ මෙලොවැ ප්‍රමාදයෙහි අනුයුක්තව වෙසෙයි. ප්‍රමත්ත වූයේ කුශලධර්‍මයන් සමාදන් කොට නොවැටෙයි. ඔහුගේ සන්තානයෙහි නොපවත්නාවු ඒ කුශලධර්‍මයෝ (ඒ පුඟුල්හු) ප්‍රකාශ නොකෙරෙත්. මෙසේ වදාළහ: බුදුහු -
3. (උත්සන්න කුශලමූල ඇති භාවිත භාවනා ඇති) සාධුහු දුරැ සිටියාහුදු හිමවත් පර්‍වතය සෙයින් ප්‍රකාශ වෙති. (බුදුනුවණට පැනෙති.) මෙලොවැ අසාධු වු බාල පුද්ගලයෝ රාත්‍රියෙහි විදුනාලද සරයන් (ඊතල) සෙයින් නොපැනෙත්.
ඒ සජ්ජනයෝ ගුණයන් කරණකොටගෙන කීර්තියෙනුදු පරිවාරයශසිනුදු ප්‍රකාශ වෙත්’ යී.
ඒ “විවිච්ඡා පමාදා නප්පකාසති” යන පදයෙන් “කෙනස්සු නප්පකාසති” යන දෙවැනි පදයාගේ විසඳීම යොදන ලදී.
“කිස්සාභිලේපනං බ්‍රෑසි” යන ප්‍රශ්නයෙහි “ජප්පාභිලේපනං බ්‍රෑමි” යනු විසඳීමයැ. තෘෂ්ණාව ‘ජප්පා’ නමැයි කියනු ලැබේ. ඒ තෘෂ්ණාව කිසෙයින් (පුරුෂයාරූපාදි විෂයෙහි) අලවයි යත්: මෙසේ වදාළහ බුදුහු -
4. රාගයෙන් රත්වුයේ ආත්මාර්‍ත්‍ථාදි අර්‍ත්‍ථය නොදනී, රාගයෙන් රත්වුයේ කුශලාදි භේද වු ධර්‍මය නොදකී, රාග තෙමේ යම් කලෙක මිනිසා සහනය කෙරේද එකල්හි මහත්වු මෝහාන්‍ධකාරය වේ’ යයි.
මේ තෘෂ්ණාව ඇලීම (ආසත්තිය)බහුල කොට ඇති පුඟුල්හට මෙසේ පර්‍ය්‍යුත්‍ථාන කාරණ යයි කොට ඒ තෘෂ්ණායෙන් ලෝවැසි තෙම වෙසෙසින් ඇලුණේ නම් වේ. තවද ඒ ‘ජප්පාභිලෙපනං බ්‍රෑමි’ යන පදයෙන් තුන්වැනි ‘කිස්සාභිලෙපනං බ්‍රෑසි’ යන පදයාගේ විසඳීම යොදනලද වේ.