3. 1. 16.
සමාරෝපනහාරවිභඞ්ගය
ඒ සොළොස් හාරයන් කෙරෙහි සමාරෝපනහාරය කවරෙ යැ: “යෙ ධම්මා යම්මූලා යෙ චෙකත්‍ථා පකාසිතා මුනිනා” යනාදි නිද්දේසගාථා යැ.
පදට්ඨාන වූ (කාරණභූත) එක ධර්‍මයක් සූත්‍රයෙන් ගත්කල්හි යම් පමණ අන්‍යධර්‍මයන්ගේ පදට්ඨානයෝ ඒ ධර්‍මයෙහි බැසගෙන සිටිත් ද, ඒ සියලු ධර්‍මයෝ (නිර්ධාරණ වශයෙන්) එළවා දේශනායෙහි ආරෝපණ කළයුත්තාහුය. (දේශනාරූඪධර්‍මයන් මෙන් සලකා කියැයුත්තාහුය.) යම්සේ ආවර්‍තහාරයෙහි බොහෝ පදට්ඨානධර්‍මයෝ බැසගනිත් ද එමෙනි. එහි සමාරෝපනය චතුර්විධ යැ: පදට්ඨාන යැ වෙවචන යැ භාවනා යැ පහාන යැ’ යි. (මෙහි පදට්ඨාන වෙවචනයෝ කුමක් හෙයින් ගන්නා ලද්දාහු ද පදට්ඨාන වෙවචනහාර දෙකෙහි එය විභාග කරනලද නො වේ ද යත්: මෙහි භාවනා ප්‍රහාණ දෙදෙනාගේ අධිට්ඨාන විෂය දැක්වීම පිණිස ද ඔවුන්ගේ අධිවචන විභාග දැක්වීම පිණිස ද ගන්නා ලදැයි දත යුතු.)
එහි පදට්ඨාන වශයෙන් සමාරෝපණා කවරැ යත්:
1. ‘කායදුශ්චරිතාදි සියලු අකුශලය නො කිරීම යැ චාතුර්භූමක කුශලයාගේ ප්‍රතිලාභය යැ රහත් මගින් ස්වකීය චිත්තයාගේ ව්‍යවදාන (පිරිසිදු කිරීම) යැ යන තෙල බුදුවරයන්ගේ ශාසන යැ - අවවාද යැ’ යි.
ඒ බුද්ධශාසනයට කුමක් පදට්ඨාන වෙයි යත්: කායසුචරිත යැ වචීසුචරිත යැ මනෝසුචරිත යැ යන තුන් සුචරිතයෝ යැ, මේ පදට්ඨාන යි. එහි කායික වූ ද වාචසික වූ ද යම් සුචරිතයෙක් ඇද්ද මේ ශීලස්කන්‍ධ යැ. මනෝසුචරිතයෙහි අනභිධ්‍යාව ද අව්‍යාපාදය ද යන මේ සමාධිස්කන්‍ධ යැ. යම් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද මේ ප්‍රඥාස්කන්‍ධ යැ. මේ ශාසනයට පදට්ඨාන යි. එහි ශීලස්කන්‍ධය ද සමාධිස්කන්‍ධය ද සමථ යැ, ප්‍රඥාස්කන්‍ධය විදර්‍ශනා යැ, මේ (සමථවිපස්සනාවනට) පදට්ඨාන යි. එහි ශමථයාගේ ඵලය රාගවිරාග චේතෝවිමුත්ති යැ, විදර්‍ශනාඵලය අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්ති යැ, මේ (විමුත්ති) පදට්ඨාන යි.
කාමගුණ සංඛ්‍යාත වනය කාමතණ්හා සංඛ්‍යාත වනථයට පදට්ඨාන යැ, වනය කිමැ වනථය කවරෙ යැ යත්: ‘වන’ නම් පඤ්ච කාමගුණයෝ යැ, තෘෂ්ණාව ‘වනථ’ යැ, මේ පදට්ඨාන යි. ‘වන’ නම් ස්ත්‍රී යැ හෝ පුරුෂ යැ හෝ යි නිමිතිවශයෙන් ගැනීම යැ. ‘වනථ’ නම් ඒ ඒ අඞ්ගප්‍රත්‍යඞ්ගයන්ගේ අනුව්‍යඤ්ජන වශයෙන් ගැනීම යැ: ඇස මැනවැ කන මැනවැ නැහැය මැනව දිව මැනවැ’ යි. මේ පදට්ඨාන යි. යළි ‘වන’ නම් අභිසමය විසින් අපරිඥාත වූ ආධ්‍යාත්මික බාහිරෂඩායතනයෝ යැ, ඒ උභය ආයතනය නිසා යම් සංයෝජනයෙක් උපදී ද මේ ‘වනථ’ නම, මේ (සංයෝජනයන්ට) පදට්ඨාන යි. එයින් වදාළහ, බුදුහු: “ඡෙත්‍වා වනං ච වනථං ච” යී. මේ පදට්ඨානයෙන් සමාරෝපණා යි.
එහි වෙවචනයෙන් සමාරෝපණා කවරැ යත්: රාගවිරාග චේතෝවිමුත්ති යැ සේඛඵල යැ (යනු අනාගාමිඵලයට ද) අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්ති යැ අසෙඛඵල යැ (යනු රහත්ඵලයට ද) මේ වෙවචන යි. රාගවිරාග චේතෝවිමුත්ති යැ අනාගාමිඵල යැ (යනු ද) අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්ති යැ අග්ගඵල යැ අරහත්ත යැ (යනු ද පිළිවෙළින් අනාගාමිඵල රහත්ඵලයනට) මේ වෙවචන යි. රාගවිරාග චේතෝවිමුත්ති යැ කාමධාතු සමතික්කමන යැ (යනු ද) අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්ති යැ තෙධාතුකසමතික්ක මන යැ (යනු ද තතිය චතුත්‍ථ ඵලයනට) මේ වෙවචන යි. පඤ්ඤින්‍ද්‍රිය යැ පඤ්ඤාබල යැ අධිපඤ්ඤාසික්ඛා යැ පඤ්ඤාක්ඛන්‍ධ යැ ධම්මවිචයසම්බොජ්ඣඞ්ග යැ උපෙක්ඛාසම්බොජ්ඣඞ්ග යැ ඤාණ යැ සම්මාදිට්ඨි යැ තීරණ යැ සන්තීරණ යැ හිරිය විපස්සනා යැ ධම්මේඤාණ යැ යන මේ සියල්ල පඤ්ඤාවෙවචන යි. මේ වෙවචනයෙන් සමාරෝපණා යි.