එහි භාවනායෙන් සමාරෝපණා කවරෙ යැ: මෙසේ වදාළහ, බුදුහු : “එහෙයින් මහණ තෙපි කයෙහි කය අනුව දක්නේ ආතාපන වීර්ය්යඇති ව සම්යග්ඥාන ඇති ව සිහි ඇතිව කායලෝකයෙහි අභිධ්යා දෞර්මනස්ය දුරු කොට වාසය කරව” යි. ආතාපී යනු වීර්ය්යෙන්ද්රිය යැ, සම්පජානෝ යනු ප්රඥේන්ද්රිය යැ, සතිමා යනු ස්මෘතීන්ද්රිය යැ, විනෙය්ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං යනු සමාධීන්ද්රිය යි. මෙසේ කයෙහි කායානු දර්ශීව වාස කරනුවහුට සතර සීවටන්හු වැඩීමෙන් පිරීමට යෙති. කවර කරුණින යත්: සතර ඉන්ද්රියයන් සමාන ලක්ෂණ ඇති බැවිනි. සතර සීවටන් වැඩෙන කල්හි සතර සම්යක්ප්රධානයෝ භාවනායෙන් පිරීමට යෙති, සතර සම්යක්ප්රධානයන් වැඩෙන කල්හි සතර ඍද්ධිපාදයෝ භාවනායෙන් පිරීමට යෙති, සතර ඍද්ධිපාදයන් වැඩෙන කල්හි පඤ්චේන්ද්රියයෝ භාවනායෙන් පිරීමට යෙති. (සියල්ල මෙසේ කියැයුතු) කවර කරුණින යත්: යම් හෙයෙකින් බෝධ සංඛ්යාත ආර්ය්යමාර්ගයට යන බෝධිපක්ෂයෙහි වු සියලු ධර්මයෝ නෛර්ය්යාණිකලක්ෂණයෙන් සමානලක්ෂණ ඇත්තාහු ද එහෙයිනි. ඔහු සමානලක්ෂණ ඇතිහෙයින් භාවනායෙන් පාරිපූරියට යෙත්. මේ භාවනා සමාරෝපණා යි.
එහි ප්රහාණයෙන් සමාරෝපණා කවරැ යත්: කයෙහි කායානුදර්ශීව වාසය කරනුයේ ‘අශුභයෙහි ශුභ යැ’ යන විපර්ය්යාසය දුරුකෙරෙයි, ඔහුට කවලීකාරාහාරය ද පරිඥාභි සමයට පැමිණෙයි, කාමෝපාදානයෙනුදු උපාදාන රහිත වෙයි, කාමයෝගයෙනුදු විසංයුක්ත වෙයි, අභිධ්යාකායග්රන්ථයෙනුදු වෙන් වෙයි, කාමාස්රවයෙනුදු අනාස්රව වෙයි, කාමෝඝය ද උත්තරණය කෙළේ වෙයි, රාගශල්යයෙනුදු විශල්ය වෙයි, ඔහුට රූපය අරමුණු කිරීම් වශයෙන් පැමිණියයුතු විඥානස්ථිතිය ද පරිඥානයට යෙයි, ඔහුට රූපධාතුයෙහි රාගය ද ප්රහීණ වෙයි, නො ද ඡන්දයෙන් අගතියට යෙයි.
වේදනායෙහි වේදනානුදර්ශීව වාසය කරනුයේ දුඃඛයෙහි සුඛ යැ යන විපර්ය්යාසග්රණය දුරුකෙරෙයි, ඔහුට ඵස්සාහරය ද පරිඥාවට යෙයි, භවෝපාදානයෙන් ද අනුපාදාන වෙයි, භවයෝගයෙනුදු විප්රයුක්ත වෙයි, ව්යාපාදකායග්රන්ථයෙනුදු විප්රයුක්ත වෙයි, භවාස්රවයෙනුදු ආස්රව රහිත වෙයි, භවෝඝය ද උත්තීර්ණ වූයේ වෙයි, ද්වේෂශල්යයෙනුදු විගතශල්ය වෙයි, ඔහුට වේදනූපග විඥානස්ථිතිය ද පරිඥාභිසමයට යෙයි, වේදනාධාතුයෙනුදු ඔහුගේ රාගය ප්රහීණ වෙයි, නො ද ද්වේෂයෙන් අගතියට යෙයි.
චිත්තයෙහි චිත්තානුදර්ශීව වාසය කරනුයේ අනිත්යයෙහි නිත්ය යැ යන විපර්ය්යාසය දුරුකෙරෙයි, ඔහුට විඥානාහාරය ද පරිඥාභිසමයට යෙයි, දෘෂ්ටි - උපාදානයෙනුදු උපාදාන රහිත වෙයි, දෘෂ්ටියෝගයෙනුදු විප්රයුක්ත වෙයි, ශීලව්රතපරාමර්ශකායග්රන්ථයෙනුදු විප්රයුක්ත වෙයි, දෘෂ්ට්යාස්රවයෙනුදු අනාස්රව වෙයි, දෘෂ්ටි - ඕඝය ද උත්තීර්ණ වෙයි, මානශල්යයෙනුදු විශල්ය වෙයි, ඔහුට සඤ්ඤෑපග විඥානස්ථිතිය ද පරිඥාභිසමයට යෙයි, සංඥාධාතුයෙනුදු ඔහුගේ රාගය ප්රහීණ වෙයි, නො ද භයහේතුයෙන් අගතියට යෙයි.
ස්කන්ධාදි ධර්මයන්හි ධර්මානුදර්ශීව වාසය කරනුයේ ආත්ම නොවූයෙහි ආත්ම යැ යන විපර්ය්යාසය දුරුකෙරෙයි, ඔහුට මනෝසඤ්චේතනාහාරය ද පරිඥාභිසමයට යෙයි, ආත්මවාදෝපාදානයෙනුදු අනුපාදාන වෙයි, අවිද්යායෝගයෙනුදු විසංයුක්ත වෙයි, ඉදම්සත්යාභිනිවේශකායග්රන්ථයෙනුදු විප්රයුක්ත වෙයි, අවිද්යාස්රවයෙනුදු අනාස්රව වෙයි, අවිද්යෝඝය ද උත්තීර්ණ වෙයි, මෝහශල්යයෙනුදු විශල්ය වෙයි, ඔහුට සංස්කාරූපග විඥානස්ථිතිය ද පරිඥාභිසමයට යෙයි. සංස්කාරධාතුයෙනුදු ඔහුගේ රාගය ප්රහීණ වෙයි, නො ද මෝහයෙන් අගතියට යෙයි. මේ ප්රහාණයෙන් සමාරෝපණා යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්යායන මහරහතුන් වහන්සේ:
“යෙ ධම්මා යම්මූලා - යෙ වෙකත්ථා පකාසිතා මුනිනා, තෙ සමරෝපයිතබ්බා එස සමාරොපණො හාරො” යි
සමාරෝපණහාරය යොදනලද්දේ යි.
සම්පාත
3. 2. 1.
දේසනාහාරසම්පාතය
1. පළමු කොට (බ්යඤ්ජනපර්ය්යෙෂණ හෙයින්) සොළස හාරයෝ යුත්තාහ. දිසාලෝචන නයින් ප්රථමදිශාදිය අවලෝකන කොට අඞ්කුසනයින් දිශාභූත ධර්මයන් සූත්රයෙන් නිර්ධාරණ කොට නන්දියාවත්තාදි අර්ත්ථනයත්රයෙන් සූත්රය වර්ණනා කරන්නේ යි.
මේ ගාථාව උද්දේසයෙහි ලා වදාරනලද්දී ය. ඒ ගාථායෙහි නිද්දේසය කොහි දී දැක්කයුත්තේ යැ යත් : හාරසම්පාතයෙහි දැක්කයුතු. (හාරවිභඞ්ගවාරයෙහි නොයෙක් සූත්රප්රදේශයන්ගෙන් ඒ ඒ හාරයන්ගේ විභාගය දක්වනලද්දේ ය. සූත්රයන්හි හාරයන්ගේ යෝජනාක්රමය දැක්වීම හාරසම්පාතවාරයෙහි ස්වරූපය යි.) එහි දේසනාහාරසම්පාතය කවරෙ යැ :
2. ස්මෘතිආරක්ෂාභාවයෙන් අගුප්ත වූ ශාශ්වතාදි මිත්යාභිනිවේශයෙන් දූෂිත වූ චිත්තචෛතසිකයන්ගේ අකල්යතාලක්ෂණ ථීන - මිද්ධ දෙකින් මඩනාලද ෂඩ්විඥානකාය සංඛ්යාත චිත්තය හේතු කොටගෙන ක්ලේශාදි සියලු මාරයාගේ වසයට (යථාකාමකරණියවබට) පැමිණේ ය’ යි.
අරක්ඛිතෙන චිත්තේන’ යි කුමක් දෙසනසේක් ද යත් : ප්රමාදය යි, ඒ ප්රමාදය (ගුණ මරණහෙයින්) මෘත්යුමාරයාගේ වසයට කාරණ වෙයි. මිච්ඡාදිට්ඨිහතෙන ච යනු යම් කලෙක අනිත්යයෙහි නිත්ය යයි දකී ද එකල මිසදිටුයෙන් දූෂිත නමැයි කියනු ලැබේ. ඒ නිත්යදර්ශනය විපර්ය්යාසග්රාහ යැ. ඒ විපල්ලාසය වැලිත් කුමක් ලක්ෂණ කොට ඇත්තේ යැ යත් : විපල්ලාසය විපරීතව ගැනීම ලක්ෂණ කොට ඇත්තේ යැ. ඒ විපරීත ග්රාහය කුමක් විපර්ය්යස්ත කෙරෙයි යත් : සංඥා යැ චිත්ත යැ දෘෂ්ටි යැ යන තුන් ධර්මයන් විපර්ය්යස්ත කෙරෙයි. හේ කොහි විපර්ය්යස්ත කෙරෙයි යත් : (පඤ්චස්කන්ධ සංඛ්යාත) ආත්මභාවවස්තු සතරෙහි යැ - රූපය ආත්මහෙයින් දෘෂ්ටිවශයෙන් දකී, (ගිනිසිළත් එලියත් මෙන් රූප - ආත්ම නොවෙන් ගැනීමෙනි.) ආත්මය රූපවත් යයි හෝ දකී, (රුකෙහි සෙවණ මෙන් අරූපය ආත්ම යයි ගැනීමෙනි.) ආත්මයෙහි රූපය ඇතැයි හෝ දකී, (මලෙහි සුවඳ මෙන් අරූපය මැ ආත්මය යි ගැනීමෙනි) රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකී. (කරඬුයෙහි මැණික මෙන් අරූපය මැ ආත්මයයි ගැනීමෙනි.) මෙසේ වේදනාව … සංඥාව … සංස්කාරයන් … විඥානය ආත්ම විසින් දකී,