3. 1. 11.
පඤ්ඤත්තිහාරවිභඞ්ගය
එහි පඤ්ඤත්තිහාරය කවර යැ: ‘ඒකං භගවා ධම්මං පඤ්ඤත්තීහි විවිධාහි දේසේති” යනාදි නිද්දේසගාථා යැ, ප්‍රකෘතිකථායෙන් (භාග්‍යවතුන් වහන්සේගේ ස්වාභාවිකධර්‍මකථායෙන්) යම් දේශනාවක් ඇද්ද මේ (වෛනෙයසන්තානයෙහි යථාභිප්‍රේතාර්‍ත්‍ථ නික්‍ෂේප කෙරෙයි - තබා නුයි) ‘නික්ඛෙපපඤ්ඤත්ති’ නම. යළි ප්‍රකෘතිකථායෙන් කරන දේශනා කවර: චතුස්සත්‍යයෝ යි. “ඉදං දුක්ඛං”යි බුදුහු මෙසේ වදාළහ. (අතීතාදි අනේක භේදභින්න වූ රූපාරූපධර්‍මයන් ප්‍රභේද නොකොට පීළනාදි අර්‍ත්‍ථසාමාන්‍යයෙන් එක්රැස් කොට ගැනීමට කාරණ වූ) ‘දුක්ඛං’ යන මේ ප්‍රඥප්තියෙක, එය පඤ්චස්කන්‍ධයන්ගේ ෂඩ්ධාතුන්ගේ අටළොස් ධාතුන්ගේ දොළොස් ආයතනයන්ගේ දස ඉන්‍ද්‍රියයන්ගේ නික්‍ෂේපප්‍රඥප්ති යි.
“මහණෙනි, ඉදින් කවලීකාරාහාරයෙහි රාගය ඇද්ද නන්‍දිය (ගෙහසිත සොම්නස) ඇද්ද තෘෂ්ණා ඇද්ද, ඒ තෘෂ්ණායෙහි ප්‍රතිසන්‍ධිජනක විඥානය පිහිටියේ වැඩුණේ වෙයි, යම් ත්‍රෛභූමක වර්‍තයෙහි ප්‍රතිසන්‍ධිවිඥානය පිහිටියේ වැඩුණේත් වේ ද, ඒ ත්‍රෛභූමක වර්‍තයෙහි නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇත. යම් තැනෙක නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇද්ද, ඒ නාමරූපයෙහි සංස්කාරයන්ගේ වැඩීම ඇත. යම් තැනෙක සංස්කාරයන්ගේ වෘද්ධිය ඇද්ද එහි මත්තෙහි පුනර්‍භවයාගේ පහළවීම ඇත. යම් තැනෙක පුනර්‍භවයාගේ පහළවීම ඇද්ද, එහි ස්කන්‍ධන්ගේ අභිනිර්‍වෘතිලක්‍ෂණ ජාතිය හා පරිපාක - භේදලක්‍ෂණ ජරාමරණ ඇත. යම් තැනෙක මතුයෙහි ජාතිජරා මරණ ඇද්ද, මහණෙනි, එය ශෝක සහිත ය දාහ සහිත ය උපායාස සහිත යයි කියමි.
ඉදින් ඵස්සාහාරයෙහි ... ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි ... මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය ඇද්ද නන්‍දිය ඇද්ද තෘෂ්ණා ඇද්ද, එහි පටිසන්‍ධිවිඤ්ඤාණය පිහිටියේ වැඩුණේ වෙයි. යම් තැනෙක පටිසන්‍ධිවිඤ්ඤාණය පිහිටියේ වැඩුණේ වේ ද, එහි නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇත. යම් තැනෙක නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇද්ද, එතැන්හි සංස්කාරයන්ගේ වැඩීම ඇත. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම ඇද්ද, එතැන්හි මතු පුනර්‍භවයාගේ පහළවීම ඇත. යම් තැනෙක මතු පුනර්‍භවයාගේ පහළවීම ඇද්ද, එතැන්හි මතු ජාති ජරා මරණ ඇත. යම් තැනෙක මත්තෙහි ජාති ජරා මරණ ඇද්ද, මහණෙනි, එය ශෝකසහිත ය දාහ සහිත ය උපායාස සහිත යයි කියමි.” මේ දේශනාව දුක්ඛසත්‍යයාගේ ද සමුදයසත්‍යයාගේ ද පභව (සමුට්ඨාන) ප්‍රඥප්ති යි. (විපාකවට්ටයාගේ ද සංස්කාරයන්ගේ ද තෘෂ්ණාප්‍රත්‍යයභාවය දැක්වූ හෙයිනි.)
“මහණෙනි, ඉදින් කවලීකාරාහාරයෙහි රාගය නැද්ද නන්‍දිය නැද්ද තෘෂ්ණා නැද්ද එහි ප්‍රතිසන්‍ධි විඥානය නොපිහිටියේ නොවැඩුණේ වෙයි. යම් තැනක ප්‍රතිසන්‍ධි විඥානය නොපිහිටියේ ද නොවැඩුණේ ද, එහි නාමරූපයාගේ අවක්‍රාන්තියෙක් නැත. යම් තැනක නාමරූපයාගේ අවක්‍රාන්තියෙක් නැද්ද එහි සංස්කාරයන්ගේ වැඩීමෙක් නැත. යම් තැනක සංස්කාරයන්ගේ වැඩීමෙක් නැද්ද, එහි ආයති පුනර්‍භවයාගේ අභිනිර්‍වෘතියෙක් නැත. යම් තැනක මතුයෙහි පුනර්‍භවයාගේ පහළවීමෙක් නැද්ද, එහි මතුයෙහි ජාති ජරා මරණ නැත. යම් තැනක මතු ජාති ජරා මරණ නැද්ද, මහණෙනි, එය ශෝක රහිත යැ දරථ රහිත යැ උපාසය රහිත යැයි කියමි. ඉදින් ඵස්සාහාරයෙහි ... ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි ... මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය නැද්ද නන්‍දි නැද්ද තෘෂ්ණා නැද්ද, එහි ප්‍රතිසන්‍ධි විඥානය නොපිහිටියේ නොවැඩුණේ වෙයි. යම් තැනෙක විඥානය නොපිහිටියේ නොවැඩුණේ වේ ද, එහි නාමරූපයාගේ අවක්‍රාන්තියෙක් නැත. යම් තැනෙක නාමරූපයාගේ අවක්‍රාන්තිය නැද්ද, එහි සංස්කාරයන්ගේ වැඩීමෙක් නැත. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීමෙක් නැද්ද, එහි මතු පුනර්‍භවයාගේ පහළ වීමෙක් නැත. යම් තැනෙක මතු පුනර්‍භවයාගේ පහළ වීමෙක් නැද්ද, එහි මතු ජාති ජරා මරණ නැත. යම් තැනෙක මතු ජාති ජරා මරණ නැද්ද, එතැන අශෝක යැ දරථ රහිත යැ අනුපාසාස යැයි කියමි”. මේ දේශනාව දුඃඛසත්‍යයාගේ පරිඥාප්‍රඥප්ති යැ, සමුදය සත්‍යයාගේ ප්‍රහාණප්‍රඥප්ති යැ, මාර්‍ගසත්‍යයාගේ භාවනාප්‍රඥප්ති යැ, නිරෝධසත්‍යයාගේ සාක්‍ෂාත් ක්‍රියා ප්‍රඥප්ති යි.
“මහණෙනි, අප්‍රමත්ත වූයේ ප්‍රඥාවත්ව ස්මෘති ඇතියේ සමාධිය වඩව, මහණෙනි, (උපාචාර අපර්‍ණා සමාධියෙන්) සමාහිත වු මහණ යථාස්වභාවයෙන් දැනගනී, කුමක් යථාභූත ව දැනගනී ද යත්: චක්‍ෂුස අනිත්‍ය යයි යථාභූතව දැනගනී. රූපයෝ අනිත්‍යයහ යි යථාභූතව දැනගනී, චක්‍ෂුර්විඥානය අනිත්‍ය යයි යථාභූතව දැනගනී. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය යයි යථාභූතව දැනගනී. චක්ඛුසම්ඵස්ස හේතුයෙන් සුව වු හෝ දුක් වූ හෝ නොදුක් නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවකුත් උපදී නම් එ ද අනිත්‍ය යයි යථාභූතව දැනගනී. ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... ජීහ්වාව ... කායය ... මනස අනිත්‍ය යයි යථාභූතව දැනගනී, ආලම්බන ධර්‍මයෝ අනිත්‍ය වූහ’ යි යථාභූතව දැනගනී, මනෝවිඤ්ඤාණය අනිත්‍ය යයි යථාභූතව දැන ගනී, මනෝසම්ඵස්සය අනිත්‍ය යයි යථාභූතව දැනගනී. මනෝසම්ඵස්ස හේතුයෙන් සුව වූ දුක් වූ නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවකුත් උපදී ද එ ද අනිත්‍ය යයි යථාභූතව දැනගනී.” මේ දේශනාව මාර්‍ගයාගේ භාවනාප්‍රඥප්ති යැ දුඃඛයාගේ පරිඥා ප්‍රඥප්ති යැ සමුදයාගේ ප්‍රහාණ ප්‍රඥප්ති යැ නිරෝධයාගේ සාක්‍ෂාත් ක්‍රියා ප්‍රඥප්ති යි.