“මහණෙනි (හේතුප්‍රත්‍යයසමවායෙන්) නූපන් (හේතු රහිත වැ තෙමේ මැ) නො පහළ වූ (හේතු ප්‍රත්‍යයෙන්) නො කරනලද ප්‍රත්‍යයෙන් අසංස්කෘත වූ නිර්‍වාණධාතුව පරමාර්‍ත්‍ථවශයෙන් ඇත. මහණෙනි, අජාත අභූත අකත අසඞ්ඛත වූ ඒ නිර්‍වාණධාතුව ඉදින් නො වී නම්, මේ ලෝකයෙහි හේතුප්‍රත්‍යයෙන් උපන් හටගත් කරනලද සියලු සඞ්ඛතධර්‍මයාගේ නිස්සරණයෙක් නො පැනෙන්නේය, තව ද මහණෙනි, යම් හෙයකින් අජාත අභූත අකත අසඞ්ඛත වූ නිර්‍වාණධාතුව ඇද්ද, එහෙයින් ජාත වූ භූත වූ කෘතවූ හේතුප්‍රත්‍යයන් විසින් සමවායෙන් කරනලද ධර්‍මජාතයාගේ නිස්සරණය පැනේ” යයි වදාළසේක.
‘නො චේතං භික්ඛවෙ අභවිස්ස අජාතං අභූතං අකතං අසඞ්ඛතං’ යනු නිර්‍වාණයාගේ දේශනාපඤ්ඤත්ති ද වෙවචනපඤ්ඤත්ති ද වෙයි, ‘න ඉධ ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායෙථ’ යනු සඞ්ඛතයාගේ වෙවචනපඤ්ඤත්ති ද උපනයනපඤ්ඤත්ති ද වෙයි, ‘යස්මා ච ඛො භික්ඛවෙ අත්‍ථි අජාතං අභූතං අකතං අසඞ්ඛතං’ යනු නිර්‍වාණයාගේ වෙවචනපඤ්ඤත්ති ද ජෝතනාපඤ්ඤත්ති (ප්‍රතිඥා කළ අර්‍ත්‍ථසිද්ධිය ප්‍රකාශ කිරීම) ද වෙයි, ‘තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායති’ යනු මේ නිර්‍වාණයාගේ වෙවචන පඤ්ඤත්ති ද, මාර්‍ගයාගේ නෛර්‍ය්‍යාණිකප්‍රඥප්ති ද, සංසාරයෙන් නික්මයෑම පැනවීම ද වේ. එයින් වදාළහ, බුදුහු: “නො වෙතං භික්ඛවෙ අභවිස්ස” යනාදිය.
එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ: “ඒකං භගවා ධම්මං පඤ්ඤත්තීහි විවිධාහි දේසේති” යි.
පඤ්ඤත්තිහාරය යොදනලද්දේ යි.
3. 1. 12.
ඕතරණහාරවිභඞ්ගය
එහි ඕතරණහාරය කවරෙ යැ: “යො ච පටිච්චුප්පාදො” යනාදි නිද්දේසගාථා යැ.
1. උඩ රූපාරූපධාතුවයෙහි ද යට, කාමධාතුයෙහි ද යන සියලු ත්‍රෛධාතුක ලෝකයෙහි අශෛක්‍ෂවිමුක්තියෙන් මිදුණු රහත් මහණ ‘මේ මම් වෙමි’ නො දක්නා සුලු වූයේ මෙසේ සේඛාසේඛවිමුක්තියෙන් මිදුණේ පුනර්‍භවය නොවුනු පිණිස පෙර තරණය නො කළවිරූ කාමාදි චතුරෝඝය තරණය කළේ යයි.
‘උද්ධං’ යනු රූපධාතුව ද අරූපධාතුව ද යන දෙක යැ, ‘අධෝ’ යනු කාමධාතු යැ, ‘සබ්බධි විප්පමුත්තො’ යනු ත්‍රෛධාතුක ලෝකයෙහි මේ (විරාගතා සංඛ්‍යාත) අශෛක්‍ෂ ඵලවිමුක්ති යැ, ඒ අශෛක්‍ෂවිමුක්තියෙහි යෙදුණු ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයෝ යැ අශෛක්‍ෂ පඤ්චේන්‍ද්‍රියයෝ යැ, මේ (අශෛක්‍ෂවිමුක්තියෙන් නිර්ධාරණ කළ) ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගෙන් (සූත්‍රසංවර්‍ණනාවට) අවතරණ (බැසගැනීම) යි. ඒ අශෛක්‍ෂ පඤ්චේන්‍ද්‍රියයෝ මැ ‘විද්‍යා’ නම් වෙයි, මාර්‍ගඥානවිද්‍යාව ඉපදීමෙන් අවිද්‍යානිරෝධය වෙයි, අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි, සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි, විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වෙයි, නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වෙයි, ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වෙයි, ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධ වෙයි, වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වෙයි, තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වෙයි, උපාදානනිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි, ජාතිනිරෝධයෙන් ජරාමරණය ද සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ ද නිරුද්ධ වෙති. මෙසේ තෙල සියලු දුඃඛරාශිහුගේ නිරෝධය වේ. මේ පටිච්චසමුප්පාදයෙන් සූත්‍රවර්‍ණනාවට බැසගැනීම යි. ඒ අශෛක්‍ෂ පඤ්චේන්‍ද්‍රියයෝ මැ ශීලස්කන්‍ධයෙන් සමාධිස්කන්‍ධයෙන් ප්‍රඥාස්කන්‍ධයෙන් යන ත්‍රිවිධ ස්කන්‍ධයෙන් සංගෘහීත වූවාහු ය, මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යි. ඒ අශෛක්‍ෂ පඤ්චේන්‍ද්‍රියයෝ මැ සංස්කාරස්කන්‍ධයෙහි ඇතුළුවු අනාස්‍රව වූ නො ද භවාඞ්ග වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙන් සංගෘහීතයහ, මේ ධාතූන්ගෙන් අවතරණ යි. ඒ ධර්‍මධාතුව අනාස්‍ර වූ නො ද භවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද එය ධර්‍මායතන පර්‍ය්‍යාපන්න යැ, මේ ආයතනයන්ගෙන් (සූත්‍රවර්‍ණනාවට) අවතරණ යි.
‘අයමහමස්මීති අනානුපස්සී’ යනු මේ සත්කායදෘෂ්ටිහුගේ සමුද්ඝාත යැ, ඒ ශෛක්‍ෂ ඵලවිමුක්ති යි. ඒ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයෝ මැ ශෛක්‍ෂ පඤ්චේන්‍ද්‍රියයෝ යැ, මේ ඉන්‍ද්‍රියයන්ගෙන් සූත්‍රවර්‍ණනාවට අවතරණ යි. ඒ ශෛක්‍ෂ පඤ්චේන්‍ද්‍රියයෝ මැ මාර්‍ගඥාන විද්‍යා යැ, විද්‍යොත්පාදය ප්‍රත්‍යය කොටගෙන අවිද්‍යානිරෝධය වෙයි, අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි. (මෙසේ සියලු මැ පටිච්චසමුප්පාදය වෙයි.) මේ පටිච්චසමුප්පාදයෙන් අවතරණ යි. එ මැ විද්‍යාව ප්‍රඥාස්කන්‍ධ යැ, මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යි. එ මැ විද්‍යාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න යැ, යම් සංස්කාර කෙනෙක් අනාස්‍රව වූවාහු නො ද භවාඞ්ග වෙත් ද ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙන් සංගෘහීතයහ. මේ ධාතූන්ගෙන් අවතරණ යි. ඒ ධර්‍මධාතුව අනාස්‍රව වූ නො ද භවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද, ඒ ධර්‍මායතනයෙහි පර්‍ය්‍යාපන්න යැ, මේ ආයතනයන්ගෙන් අවතරණ යි. ශෛක්‍ෂවිමුක්තියෙන් ද අශෛක්‍ෂවිමුක්තියෙන් ද කෙලෙසුන් කෙරෙන් විමුක්ත වූයේ පුනර්‍භවය නොවනු පිණිස පෙර තරණය නො කළවිරූ කාමාදි චතුරෝඝය තරණය කළේ යි. එයින් වදාළහ, බුදුහු: “උද්ධං අධෝ” යනාදිය.