8.
දියෙහි දැල බිඳ ගිය මසකු සෙයින් සංයෝජනයන් පළා, දැවුණු තැනට පෙරළා නො එන ගින්නක් සෙයින් (මාර්ගඥානයෙන් දැවුණු කෙලෙසුන් කරා පෙරළා නො එමින්) කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
සන්දාලයිත්වාන සඤ්ඤොජනානි යනු: සංයෝජනයෝ දස දෙනෙකි: කාමරාගසංයෝජන යැ ප්රතිඝසංයෝජන යැ මානසංයෝජන යැ දෘෂ්ටිසංයෝජන යැ විචිකිත්සාසංයොජන යැ ශිලව්රතපරාමර්ශසංයොජන යැ භවරාගසංයොජන යැ ඊර්ෂ්යාසංයෝජන යැ මාත්සර්ය්ය සංයෝජන යැ අවිද්යා සංයෝජන යි. සන්දාලයිත්වාන සඤ්ඤොජනානි යනු: දශසංයෝජනයන් පළා මොනොවට පළා හැරපියා දුරු කොට විගතාන්ත කොට අනු අභාවයට පමුණුවා නුයි ‘සන්දාලයිත්වාන සඤ්ඤොජනානි’ යනු වේ.
ජාලංච හෙත්වා සලිලම්බුවාරි- ‘ජාලං’ යි හූදැල කියනු ලැබෙයි. ‘සලලං’ යි ජලය කියනු ලැබෙයි. ‘අම්බුවාරි” යි මත්ස්යා කියනු ලැබෙයි. යම්සේ මත්ස්ය තෙම දැල බිඳ සිදුරු කොට පළා හිරා හිරිහිරිකොට සෙරෙයි වෙසෙයි ඉරියව් පවත්වා ද වැටේ ද පාලනය කෙරේ ද රැකේ ද යාපනය කෙරේද එසෙයින් මැ, තෘෂ්ණාජාලද දෘෂ්ටිජාලදැයි ජාල දෙකෙකි. ... මේ තෘෂ්ණාජාල යැ. මේ දෘෂ්ටිජාල යි. ඒ පසේබුදුන් විසින් තෘෂ්ණා ජාලය ප්රහීණ යැ දෘෂ්ටිජාලය දුරලනලද, තෘෂ්ණාජාලය ප්රහීණ වන බැවින් දෘෂ්ටිජාලය දුරලන ලද වන බැවින් ඒ පසේබුදුහු රූපයෙහි නො ඇලෙති ශබ්දයෙහි නොඇලෙති ගන්ධයෙහි නො ඇලෙති ... දෘෂ්ට ශ්රැත මුතවිඥාතව්ය ධර්මයන්හි නො ඇලෙති නො ගනිති නො බැඳෙති ප්රතිබද්ධ නො වෙති (එයින්) නික්මුණාහු බැහැර වූවාහු මිදුණාහු වෙන් වූවාහු විගතමර්ය්යාදා කළ සිතින් යුක්ත වැ වාසය කෙරෙත් නුයි ‘ජාලංච හෙත්වා සලිලම්බුවාරි’ යනු වේ.
අග්ගීව දඩ්ඪං අනිවත්තමානො යනු: යම්සේ ගින්න තෘණකාෂ්ට පටන් කොට දවමින් නො නැවැතැ යේ ද එසෙයින් මැ ඒ පසේ බුදුන් විසින් සෝවන් මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්රහාණය කරන ලද වෙත් ද ඒ කෙලෙසුන් කරා වටාලා නො එති පෙරළා නො එති ආපසු නො එති සෙදගැමි මගින් - අනගැමි මඟින්- රහත්මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්රහාණය කරන ලද වෙත් ද ඒ කෙලෙසුන් කරා වටාලා නො එති පෙරළා නො එති ආපසු නො එත් නුයි. “අග්ගීච දඩ්ඪං අනිවත්තමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. ඒ පසේබුදුහු:
‘සන්දාලයිත්වාන -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
9.
යටබලා හෙලූ ඇස් ඇතියේ නො ද පාදලොල වූයේ රක්නා ලද ඉඳුරන් ඇතියේ රක්නා ලද මනස ඇතියේ (කෙලෙසුන් විසින්) නො තෙත් වූයේ (කෙළෙස් ගිනින්) නො දැවුණේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො යනු: කිසෙයින් “ඛිත්තචක්බු’ වේ ද යත්: මෙහි කිසි මහණෙක් (සක්දොර උපන් ලෝභ විසින්) ඇසින් ලොල් වූයේ චක්ෂුර්ලෞල්යයෙන් සමන්විත වෙයි. නුදුටු රූපාලම්බන දැක්ක යුතු යැ දක්නා ලද්ද ඉක්මවිය යුතු යැ’යි අරමින් අරමට උයනින් උයනට ගමින් ගමට නිගමයෙන් නිගමයට නුවරින් නුවරට රටින් රටට දනව්වෙන් දනව්වට දීර්ඝ චාරිකායෙහි නො නිමි චාරිකායෙහි යෙදුණේ රූපදර්ශනය පිණිස හැසිරෙයි මෙසේ “ඛිත්තචක්බු’ වෙයි.
නොහොත් මහණ ඇතුළුගමට පිවිසියේ වේමඟට පිළිපන්නේ අසංවර වැ යෙයි: ඇතුන් බලමින් අසුන් බලමින් රිය බලමින් පාබලසෙන් බලමින් ස්ත්රීන් බලමින් පුරුෂයන් බලමින් කුමරුන් බලමින් කුමරියන් බලමින් ඇතුළු අවුණ (කඩතුළ) බලමින් ගෙදොර බලමින් උඩ බලමින් යට බලමින් දසනුදස බලමින් යෙයි. මෙසේත් “ඛිත්තචක්බු’ වෙයි.
නොහොත් මහණ ඇසින් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති ගන්නේ වෙයි, (හස්තපාදාදි) ආකාර විසින් ගන්නේ වෙයි, යම් කරුණෙකින් චක්ෂුරින්ද්රිය අසංවෘත වැ වසන මොහු අභිධ්යා දෞර්මනස්ය සඞ්ඛ්යාත ලාමක අකුශලධර්මයෝ අනුබඳනාහු නම් ඒ චක්ෂුරින්ද්රියයාගේ සංවරය පිණිස නො පිළිපදී, චක්ෂුරින්ද්රියය නො රකී, චක්ෂුරින්ද්රියයෙහි සංවරයට නො පැමිණෙයි. මෙසේත් ‘ඛිත්තචක්බු’ වෙයි.
තවද යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් කම්පල අදහා දුන් බොජුන් වළඳා ඔවුහු මෙබඳු වූ විසුළු දැකීමෙහි යෙදී වෙසෙති: ඒ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් නළුමුළු භාරතාදිය කියන තැන කස්තල ඝනතාල කුළුතාලම් හෝ මළසිරුරු මන්ත්රයෙන් නඟාලීම කළපිඹීම (බුම්මංඩි?) ප්රතිභානචිත්ර සැඩොලුන්ගේ ඝණදෙවුන්කෙළි වස්කුලල් ඇට දෙවීම් ඇත්පොර අස්පොර මියුපොර වැහැප්පොර ගවපොර බැටළුපොර එළුපොර කුකුළුපොර වටුපොර දඬුපොර මිටුපොර මල්ල පොර යුදපෙරමුණ බල සෙන් ගණන තැන කඳවුරු බලඇණි දැකීම යනු හෝ යැ. මෙසේත් ‘ඛිත්තචක්බු’ වේ.