10.
(කෙස්රැවුළු ආදී) ගිහිව්‍යඤ්ජනයන් බැහැර කොට සැදුණු පත්‍ර ඇති පරසතුරුකක් සෙයින් කහවත් ඇති වැ, අභිනිෂ්ක්‍රමණ කොට කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙයි.
ඔහාරයිත්‍වා ගිහිබ්‍යඤ්ජානානි- ‘ගිහිව්‍යඤ්ජනයෝ’ : කෙස් ද රවුළු ද ... දික්දාවලු ඇති වස්ත්‍ර යනාදිය හෝ කියනු ලැබෙති. ඔහාරයිත්‍වා ගිහි බ්‍යඤජනානි යනු: ගිහිබ්‍යඤ්ජනයන් බැහැර කොට මැනැවින් බැහැර කොට බහාතබා දුරු කොට නුයි “ඔහාරයීත්‍වා ගිහිබ්‍යඤ්ජනානි’ යනු වේ.
සඤ්ජන්නපත්තො යථා පාරිච්ඡත්තකො යනු: යම්සේ ඒ පරසතු නම් වූ කොබළලරුක බොල්පත්පලු ඇත්තේ ඝන සෙවනලු ඇත්තේ වේද, එසෙයින් මැ ඒ පසේ බුදුහු පරිපූර්‍ණ පාත්‍රචීවර ධරනුවාහු නුයි ‘සඤ්ඡන්නපත්තො යථා පාරිච්ඡත්තකො’ යනු වේ.
කාසායවත්ථො අභිනික්ඛමිත්‍වා යනු: ඒ පසේ බුදුහු හැම ගෘහවාසපළිබොධ සිඳ අඹුදරු පළිබෝධ සිඳ ඥාතිපළිබොධ සිඳ සගයහළු පළිබෝධ සිඳ සන්නිධිපළිබොධ සිඳ කෙස්රවුළු බහා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වැ අකිඤ්චනභාවයට (කිසිත් නැති බවට) පැමිණ එකලා වැ හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති යාපනය කෙරෙත් නුයි “කාසායවත්ථො අභිනික්ඛමිත්‍වා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. එ පසේබුදුහු:
“ඔහාරයිත්‍වා -පො- ඒකෝ චරෙ බග්ගවිසාණප්පො” යි.
තුන් වැනි වර්‍ගයි.
සතර වැනි වර්‍ගය
1.
රසයෙහි ගිජු බව නො කරනුයේ ලොල් නො වූයේ අනෙකක්හු නුපුස්නාසුලු වූයේ ගෙපිළිවෙළින් පිඬුසිඟා වඩනුයේ කුලයෙහි (කෙලෙස් විසින්) නො ලැගි සිත් ඇත්තේ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
රසෙසු ගෙධං අකරණං අලොලො- ‘රසො’ යනු: මුල්රස යැ කඳරස යැ පොතුරස යැ පත්රස යැ මල්රස යැ පලරස යැ, ඇඹුල මිහිර තිත්තරස යැ කුළුරස යැ ලුණුරස යැ කරරස යැ (ගිවුළු ආදි) ලපිල රස යැ කසටරස යැ ඉටුරස යැ අනිටුරුස යැ සිහිල්රස යැ උණුරස යි. රසයෙහි ගිජු වූ ඇතැම් මහණ බමුණෝ ඇති. ඔහු දිවගින් අග්‍රරසයන් පිරියෙස් (සොය) මින් ඇවිදුති, ඔහු ඇඹුල ලැබ නො ඇඹුල පිරියෙස්ති (සොයති) නො ඇඹුල ලැබ ඇඹුල පිරියෙස්ති, (ගිතෙල් ඈ) මිහිරිරස ලැබ නොමිහිරිරස පිරියෙස්ති නො මිහිරිරස ලැබ මිහිරිරස පිරියෙස්ති, තිත්තරස ලැබ අතිත්තකරස පිරියෙස්ති, අතිත්තකරස ලැබ තිත්තරස පිරියෙස්ති, කුළුරස ලැබ නො කුළුරස පිරියෙස්ති, නො කුළුරස ලැබ කුළුරස පිරියෙස්ති, ලුණුරස ලැබ ලුණු නැත්ත පිරියෙස්ති, ලුණුනැත්ත ලැබ ලුණුරස පිරියෙස්ති, කරරස ලැබ අබාරිකය (කරරස නැත්ත) පිරියෙස්ති, කරරස නැත්ත ලැබ කරරස පිරියෙස්ති, කසටරස ලැබ කසටරස නැත්ත පිරියෙස්ති, කසටරස නැත්ත ලැබ කසටරස පිරියෙස්ති, ලපිලරස ලැබ ලපිලරස නැත්ත පිරියෙස්ති, ලපිල රස නැත්ත ලැබ ලපිලරස පිරියෙස්ති, ඉටුරස ලැබ අනිටුරස පිරියෙස්ති, අනිටුරස ලැබ ඉටුරස පිරියෙස්ති, සිහිල්රස ලැබ උණුරස පිරියෙස්ති, උණුරස ලැබ සිහිල් රස පිරියෙසිත්. ඔහු යම් යම් රසයක් ලබත්ද ඒ ඒ රසයෙන් තුටු නො වෙති. මනවඩන රසයන්හි ඇලුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු බැස ගත්තාහු ලැගුණාහු ලග්නිත වූවාහු පරිරුද්ධ වූවාහු මතුමත්තෙහි පිරියෙසිත්. ඒ රසතෘෂ්ණාව ඒ පසේබුදුන් විසින් ප්‍රහීණ යැ, උසුන් මුල් ඇත්තී යැ. හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තු කරන ලද යැ. අනු අභාවය කරන ලද යැ ආයති භවයෙහි නූපදනා පියවි ඇත්තී යැ, එයින් ඒ පසේබුදුහු නුවණින් විමසා අහර වළඳති. කෙළි පිණිස නො මැ වළඳති, මද පිණිස-අලඞ්කාර පිණිස - සැරසුම් පිණිස නො වළඳති, යම්තාක් මේ කය පැවැත්ම පිණිස යැපීම පිණිස බඩගිනි වේදනා නැසීම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස වළඳත්. මෙසේ පැරැණි බඩගිනි වේදනා නසමි අලුත් වේදනාත් නූපදවමි මාගේ යැපීම ද වන්නේ යැ අනවද්‍යභාවය ද සුවවිහරණය ද වන්නේ යැ යි. යම්සේ මස්වැඩීම පමණට ව්‍රණය ආලේප කරන්නේ ද, තවද යම්සේ බර ගෙන යන පමණට අක්ෂය තෙල් ගල්වන්නේ ද, තවද යම්සේ කතරමඟ තරණය කරන පමණට පුත්‍රමාංසාහාරය අනුභව කරන්නේ ද, එපරිද්දෙන් මැ පසේ බුදුහු නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට අහර වළඳති, නො මැ කෙළි පිණිස වළඳති ...