5.
යම්සේ අරනෙහි මුවතෙම නො බැඳුණේ කැමැති තැනකට ගොදුරට යේ ද, එසෙයින් ස්වෛරීභාවය අපේක්ෂා කරන නුවණැති පුරුෂ තෙම කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය ‘මිගො’යනු: මෘගයෝ දෙදෙනෙකි: එණිමෘග ද පසද මෘග දැ යි. යම්සේ වල්මුව තෙම අරනෙහි මහවෙනෙහි සරනුයේ විස්වැසි වැයේද, විස්වැසි වැ සිටී ද, විස්වැසි වැ හිඳී ද, විස්වැසි වැ හොවී ද, තෙල වදාරන ලද මැ යැ භාග්යවතුන් විසින්: “යම්සේ මහණෙනි, වල්මුව තෙම අරනෙහි මහවෙනෙහි සරනුයේ විස්වැසි වැ යේ ද, විස්වැසි වැ සිටී ද, විස්වැසි වැ හිඳී ද, විස්වැසි වැ හොවී ද, ඒ කවර හෙයිනැ යත්:
මහණෙනි, මුව වැදිහු ගේ ඇස්හමුවට නො ගිය හෙයිනි. මහණෙනි, එසෙයින් මැ මහණ තෙම කාමයෙන් වෙන් වැ මැ අකුශල ධර්මයෙන් වෙන් වැ මැ විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්රීතිසුඛ ඇති ප්රථමධ්යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ කෙලෙස් මරනු හෝ මරදෙව්පිත් අඳ කෙළේ යැ. කෙලෙස්පිය රහිත කොට මාරචක්ෂුස නසා මර්හු ගේ අදර්ශනයට ගියෝ යැයි කියනු ලැබෙයි. තවද මහණෙනි, මහණ තෙම විතර්කවිචාරයන් ගේ සන්හිඳීමෙන් සන්තානයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟ බව ඇති විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්රීති සුඛ ඇති ද්විතීයධ්යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ මරනු අඳ කෙළේ යැ. කෙලෙස්පිය රහිත කොට මාරචක්ෂුස නසා මරනුගේ අදර්ශනයට ගියේ යැයි කියනු ලැබෙයි. තවද මහණෙනි, මහණ තෙම ප්රීතියා ගේ ද විරාගයෙන් උපෙක්ෂා ඇති වැ වාස කෙරෙයි. වැළිත් ස්මෘතිසම්යග්ඥාන ඇත්තේ නාමකයින් සම්ප්රයුක්ත සුඛවේදනා විඳියි. යම් ධ්යානයක් හේතු කොට (බුද්ධාදි) ආර්ය්යයෝ (ධ්යානසමඞ්ගී පුද්ගල තෙම) ‘උපෙක්ෂා ඇත්තේ යැ ස්මෘතිමත් යැ සුඛවිහරණ ඇත්තේ යැ‘යි කියත් ද, ඒ තෘතීයධ්යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ මරහු අඳ කෙළේ යැ, ක්ලෙශපාද රහිතකොට මාරචක්ෂුස නසා මරහුගේ අදර්ශනයට ගියෝ යැයි කියනු ලැබේ. තව ද මහණෙනි, මහණ තෙම සුඛයාගේ ප්රහාණයෙන් දුඃඛයාගේ ද ප්රහාණයෙන් කැලැ මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නො දුක් නො සුව වූ උපේක්ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය ඇති චතුර්ත්ථධ්යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ මරහු අඳ කෙළේ යැ කෙලෙස් පා රහිත කොට මාරචක්ෂුස නසා මරහුගේ අදර්ශනයට ගියේ යැයි කියනු ලැබෙයි.
තවද මහණෙනි, මහණ තෙම සර්වප්රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්තයැ’යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ ‘මරහු අන්ධ කෙළේ යැ කෙලෙස්පා නැති කොට මාරචක්ෂුස නසා මරහුගේ අදර්ශනයට ගියේ ය’යි කියනු ලැබෙයි. තවද මහණෙනි, මහණ තෙම සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්ත යැ’යි. විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාස කෙරෙයි. සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාස කෙරෙයි....සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාස කෙරෙයි ... සර්වප්රකාරයෙන් නේවසඤ්ඤා නාසඤ්ඤායතන ය ඉක්මවා සංඥාවේදයිත නිරෝධයට පැමිණ වාස කෙරෙයි. යළි මාර්ගප්රඥායෙන් දැක ඔහු විසින් ආස්රවයෝ ක්ෂය කරන ලද වෙත්. මහණෙනි, මෙ මහණ මරහු අඳ කෙළේය. කෙලෙස්පිය නැති කොට මර ඇස නසා මරහුගේ අදර්ශනයට ගියේ යැ’යි කියනු ලැබේ. ලොවැ විසත්තිකා නම් වූ, තෘෂ්ණාව තරණය කළ හෙතෙම විස්වැසි වැ යෙයි, විස්වැසි වැ සිටියි, විස්වැසි වැ හිඳියි, විස්වැසි වැ හොවී. ඒ කවර හෙයිනැ යත් : මහණෙනි, මරහුගේ ඇස්හමුවට නො ගිය හෙයිනැ‘යි ‘මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො යෙනිච්ඡකයං ගච්ඡති ගොචරාය’යනුවේ.