2.
හටගත් (දර්ශනාදි) සංසර්‍ග ඇතියහු ට ස්නෙහයෝ වෙති, ස්නේහය අනුව යන මෙ දුක උපදි, ස්නේහයෙන් උපන් ආදීනව දක්මින් කගවෙහෙණක සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා - ‘සංසග්ගා’යනු: දර්‍ශන සංසර්‍ගය ද ශ්‍රවණ සංසර්‍ගය දැ යි සංසර්‍ග දෙකෙකි. දර්‍ශන සංසර්‍ග කවරැ යත්: මෙ ලොවැ ඇතැමෙක් විශිෂ්ට රූ ඇති දැකුම්කලු ප්‍රසාද එළවන උතුම් වූ වර්ණසෞන්දර්ර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ස්ත්‍රියක හෝ කුමරියක හෝ දකියි. දැක බලා ‘කෙස් හොබනේ යැ හෝ මුහුණ හොබනේ යැ හෝ ඇස් හොබනේ යැ හෝ කන් හොබනේ යැ හෝ නැහැය හොබනේයැ හෝ ලවන් හොබනේ යැ හෝ දත් හොබනේ යැ හෝ මුඛය හොබනේ යැ හෝ ගෙල හොබනේ යැ හෝ පියවුරු හොබනේ යැ හෝ උරමඬල හොබනේ යැ හෝ උදරය හොබනේ යැ හෝ කටිය හොබනේ යැ හෝ වටොර හොබනේ යැ හෝ දඟයුග හොබනේ යැ හෝ අත් හොබනේ යැ හෝ පා හොබනේ යැ හෝ ඇඟිලි හොබනේ යැ හෝ නිය හොබනේ යැ හෝ ‘යි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගනියි දැක බලා සතුටු වෙයි තුටුවදන් බෙණෙයි පතයි සිහි කෙරෙයි අනුව්‍යඤ්ජන අල්වා ගනී. ස්නෙහ බන්‍ධනයෙන් බැඳේ. මේ දර්‍ශන සංසර්‍ග නම.
ශ්‍රවණසංසර්ග කවරැයත්: මෙලොවැ ඇතැමෙක් අසුවල් ගමැ හෝ නියම්ගමැ හෝ ස්ත්‍රියක් හෝ කුමරියක් හෝ විශිෂ්ට රූ ඇත්තී යැ දැකුම් කලු යැ ප්‍රසාද එළවන්නී යැ. උතුම් වර්‍ණ සෞන්දර්යයෙන් සමන්‍වාගත යැ” යි අසයි. අසා අසාලා සතුටු වෙයි සතුටු වදන් බෙණෙයි ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි අනුව්‍යඤ්ජන අල්වා ගනී. ස්නෙහ බන්‍ධනයෙන් බැඳේ. මේ ශ්‍රවණසංසර්ග නමි.
ස්නෙහා යනු ස්නෙහ දෙකෙකි: තෘෂ්ණා ස්නේහය ද දෘෂ්ටිස්නේහය දැ යි. තෘෂ්ණා ස්නේහය කවරැයත්: යම් පමණ තෘෂ්ණා සංඛ්‍යාතයෙන් ‘මේ මාගේ යැ, තෙල මා ගේ යැ. මෙතෙක් මාගේ යැ, මෙතෙකින් මාගේ යැ‘යි හිම් කරන ලද ද, මර්‍ය්‍යාදා කරන ලද ද, අවධිකරන ලද ද, පිරියත් කරන ලද ද, පිරිසිඳගන්නා ලද ද, මමායන කරන ලද ද, රූපයෝ ශබ්දයෝ ගන්‍ධයෝ රසයෝ ස්ප්‍රෂ්ටව්‍යයෝ අතුරුණු පවුරුණු දැසිදස්හු එළුතිරෙළු කුකුළු හූරු ඇත් අස් ගව වෙළඹහු කෙත් වතු අමුරන් රත්රන් ගම්නියම්ගම් රජදහන් රට දනවු කොටු කොටුගුළු මුළුමහපොළොව පවා තෘෂ්ණා වශයෙන් මමායන කෙරේ ද යම් පමණ අටතුරාසියක් තෘෂ්ණා විචරිත වේ ද, මේ තෘෂ්ණා ස්නෙහ නම.
දෘෂ්ටිස්නෙහ කවරැ යත්: විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, දශවස්තුක මිථ්‍යාදෘෂ්ටි යැ දශවස්තුක අන්තග්‍රහාහිකදෘෂ්ටි යැ යන මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකයෙක් දෘෂ්ටිවිස්ඵන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (අරමුණ දැඩි වැ ගන්නා) ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් අයථාමාර්ගයෙක් මිථ්‍යාභාවයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාස ග්‍රහණයෙක් විපරීතග්‍රහණයෙක් පෙරළි කොට ගැනීමෙක් මිථ්‍යාග්‍රහණයෙක් අයථාස්වභාවයෙහි යථා ස්වභාව යයි ගැනීමෙක් යම් පමණ දෙසැට දෘෂ්ටියෙහි ඇතුළු කෙනෙක් වෙත්ද මේ ‘දෘෂ්ටිස්නේහ’නමි.
සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා යනු: දර්‍ශන සංසර්‍ග ප්‍රත්‍යයෙනුදු ශ්‍රවණ සංසර්‍ග ප්‍රත්‍යයෙනුදු, තෘෂ්ණාස්නේහයත් දෘෂ්ටි ස්නේහයත් වෙයි උපදියි හට ගනියි මැනැවින් හටගනියි නිපදියි වෙසෙසින් නිපදියි පහළ වේනු නුයි ‘සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා’යනු වේ.
ස්නෙහත්‍වයං දුක්ඛමිදා පහෝති - ‘ස්නෙහා’යනු: තෘෂ්ණාස්නෙහය ද දෘෂ්ටි ස්නේහය දැ යි ස්නෙහ දෙකකි. . . . මේ තෘෂ්ණා ස්නෙහ යැ. . . මේ දෘෂ්ටි ස්නෙහයි. දුක්ඛමිදං පහෝති යනු: මෙලොවැ ඇතැමෙක් කයින් දුසිරිත් කෙරෙයි, වචනයෙන් දුසිරිත් කෙරෙයි, මනසින් දුසිරිත් කෙරෙයි. ප්‍රාණවධ ද කෙරෙයි, අදත්තාදාන ද කෙරෙයි, ගෘහසන්‍ධි ද සිඳියි. ගමුදු වොලොගනියි. එක් ගෙයක් පැහැරීමුදු කෙරෙයි.