3.
සුහද මිතුරනට අනුකම්පා කරන පිළිබැඳි සිත් ඇත්තේ අර්ත්ථය නසාලයි. සන්ථවයෙහි තෙල භය දක්නේ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො හාපෙති අත්ථං පටිබද්ධචිත්තො - ‘මිත්තා’යනු: ආගාරික මිත්ර ද ප්රව්රජිත මිත්ර දැ යි මිත්රයෝ දෙදෙනෙකි. ආගාරිකමිත්ර කවරැ යත්: මෙලොවැ ඇතැමෙක් නො දිය හැක්ක දෙයි, නො හළ හැක්ක හරියි, නො කළ හැක්ක කරයි, නො ඉවසිය හැක්ක ඉවසයි, තමාගේ සැඟැවිය යුත්ත ඔහුට කියයි, ඔහුගේ ගෝපනය කළ යුත්ත ගෝපනය කෙරෙයි, ආපදාවන්හි නො හරියි, ඔහු පිණිස ජීවිත පරිත්යාග ද කෙරෙයි. පිරිහුණු කල්හි අවමන් නො කෙරේ, මේ අගාරික මිත්ර යැ. ප්රව්රජිතමිත්ර කවරැ යත්: මෙ සස්නෙහි මහණ ප්රිය වූයේත් මනවඩන්නේත් ගුරු වූයේ ත් සම්භාවනාර්හ වූයේ ත් වක්තෘ වූයේ ත් මෙරමා වදන් ඉවසනුයේ ත් ගැඹුරු කථා කියන්නේ ත් වෙයි, නො ද අස්ථානයෙහි යොදයි. අධිශීලයෙහි සමාදන් කරවයි, සතර සතිපට්ඨානයන්ගේ භාවනානුයෝගයෙහි සමාදන් කරවයි, සතර සම්යක් ප්රධානයන්ගේ... සතර ඍද්ධිපාදයන්ගේ... පඤ්චේන්ද්රියන්ගේ-පඤ්චබලයන්ගේ සප්තබෝධ්යඞ්ගයන්ගේ - ආර්ය අෂ්ටාකාංගික මාර්ගයාගේ භාවනානුයෝගයෙහි සමාදන් කරවයි. මේ ප්රව්රජිතමිත්ර යි. යම් කෙනකුන් ‘හා සමග ඊම පහසු ද යෑම පහසු ද හිඳීම පහසු ද නිදීම පහසු ද ආලාපය පහසු ද සල්ලාපය පහසු ද උසස් කොට බිණීම පහසු ද පුනපුනා උසස් කොට බිණීම පහසු ද ඔහු ‘සුහදයෝ” යි කියනු ලැබෙත්.
මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො හාපෙති අත්ථං යනු: මිත්රයනට ද සුහදයනට ද සන්දෘෂ්ට (දුටු විසැඹි) යනට ද සම්භක්ත (දළවිසගැඹි) යනට ද යහළුවනට ද අනුකම්පා කරනුයේ බලනුයේ අනුග්රහ කරනුයේ ආත්මාර්ත්ථය ද පරාර්ත්ථය ද උභයාර්ත්ථය ද නසයි, ඓහිකාර්ථය ද නසයි, පාරත්රිකාර්ථය ද නසයි, පරමාර්ථාර්ත්ථය ද නසයි, වෙසෙසින් නසයි, පිරිහෙළයි, විද්ධංසන කෙරෙයි, දුරු කෙරෙයි, අතුරුදහන් කෙරේ නුයි ‘මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො හාපෙති අත්ථං’යනු වේ. පටිබද්ධචිත්තො යනු: දෙ කරුණෙකින් පිළිබැඳිසිත් ඇත්තේ වෙයි. තමා පහත් කොට තබමින් මෙරමා උසස් කොට තබන්නේ හෝ පිළිබැඳිසිත් ඇත්තේ වෙයි. තමා උසස් කොට තබමින් මෙරමා පහත් කොට තබන්නේ හෝ පිළිබැඳිසිත් ඇත්තේ වේ. කිසෙයින් තමා පහත් කොට තබමින් මෙරමා උසස් කොට තබන්නේ පිළිබැඳි සිත් ඇත්තේ වේ ද යත්: තෙපි මට බොහෝ උපකාර ඇතියවු, මම් තොප නිසා සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබමි, අන්ය වූ යම් කෙනෙකුත් මට දෙන්නට හෝ කරන්නට සිතත් නම් තොප නිසා යැ තොප මුහුණ බලමිනි,- මාගේ මාපියන් සතු යම් පැරණි නම්ගොතෙකුත් වී නම් එ ද අතුරුදහන් වී යැ, තොප කරණ කොට මම් ‘අසෝ තැනැත්තහු ගේ කුලුපග යැ අසෝ තැනැත්තියගේ කුලුපග යැ, යි ප්රකට වෙමි. මෙසෙයින් තමා පහත් කොට තබමින් මෙරමා උසස් කොට තබනුයේ පිළිබැඳි සිත් ඇත්තේ වෙයි.
කිසෙයින් තමා උසස් කොට තබමින් මෙරමා පහත් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇත්තේ වේ ද යත්: මම් තොපට බොහෝ උපකාර ඇත්තෙමි. තෙපි මා කරා පැමිණ බුදුන් සරණ කොට ගියවු යැ, දහම් සරණ කොට ගිය වූ යැ, සඟුන් සරණ කොට ගියවු යැ, ප්රාණවධයෙන් වැළකුණ වු යැ, අදත්තාදානයෙන් වැළකුණවූ යැ, කාමමිථ්යාචාරයෙන් වැළකුණු යැ, මුසවායෙන් වැළකුණ වු යැ, මදයට හා ප්රමාදයට හා කරුණු වූ රහමෙරින් වැළකුණ වු යැ. මම් තොපට උදෙස් දෙමි, පරිපෘච්ඡා දෙමි, පෙහෙවස් කියමි, නවකම් ඉටමි, එතෙකුදුවත් තෙපි මා හැරපියා අනුනට සත්කාර කරවු, ගරුකාර කරවු, මානන කරවු, පූජන කරවු යයි මෙසෙයින් තමා උසස් කොට තබමින් මෙරමා පහත් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇත්තේ වේ නුයි. ‘හාපෙති අත්ථං පටිබද්ධචිත්තො’ යනු වේ.