9.
ප්‍රහීණ වූ මල හා මොහොය හා ඇති මානය හා මකුබව හා දුරැලූ උන් වහන්සේගේ ගුණෝපසංහිත වූ වචනය මම් එකත්නෙන් කිර්තනය කරනෙම්.
පහීනමලමොහස්ස - ‘මලං’ යනු: රාගය මල යැ, ද්වේෂය මල යැ, මෝහය මල යැ, මානය මල යැ, දෘෂ්ටිය මල යැ, ක්ලේශය මල යැ, හැම දුශ්චරිතය මල යැ, හැම භවගාමී කර්‍මය මල යි. මොහො යනු: යම් දුකෙහි නො දැන්මෙක් ... අවිද්‍යා පරිඝයෙක් මෝහ අකුශලමූලයෙක් වේ ද මේ ‘මෝහ’ යි කියනු ලැබේ. මලය ද මෝහය ද භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ, උසුන්මුල් ඇතියහ, හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තුක කරන ලදහ, අනු අභාවය කරන ලදහ, ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු ප්‍රහීණ මලමොහ ඇත්තාහු නුයි ‘පහීනමලමොහස්ස’ යනු වේ.
මානමක්ඛප්පහායිනො - ‘මානො’ යනු: එක් අයුරෙකින් මානය වෙයි: චිත්තයාගේ යම් උන්නතියෙක් වේ ද එය යි.
දෙ අයුරෙකින් මානය වෙයි: ආත්මොත්කර්ෂණමාන යැ, පරවම්භන මාන යයි.
තුන් අයුරෙකින් මානය වෙයි: ‘මම් ශ්‍රෙෂ්ඨයෙමී’ මාන යැ, ‘මම් සදෘශයෙමී’ මාන යැ, ‘මම් හීනයෙමී’ මාන යයි.
සතර අයුරෙකින් මානය වෙයි: ලාභ හෙයින් මානය උපදවයි, යශස් හෙයින් මානය උපදවයි, ප්‍රශංසා හෙයින් මානය උපදවයි, සුඛ හෙයින් මානය උපදවයි.
පස් අයුරෙකින් මානය වෙයි: ‘මනවඩන රූපයන් ලබනසුල්ලෙමි’ මානය උපදවයි. ‘මනවඩන ශබ්දයන්-ගන්‍ධයන්-රසයන්_ ස්ප්‍රෂ්ටව්‍යයන් ලබනසුල්ලෙමි’ මානය උපදවයි.
ස අයුරෙකින් මානය වෙයි: චක්ෂූස්සම්පත් හෙයින් මානය උපදවයි, ශ්‍රෝත සම්පත් හෙයින් - ඝ්‍රාණ සම්පත් හෙයින් - ජිහ්වාසම්පත් හෙයින් - කායසම්පත් හෙයින් - මනස්සම්පත් හෙයින් මානය උපදවයි.
සත් අයුරෙකින් මානය වෙයි: මාන යැ අතිමාන යැ මානාතිමාන යැ අවමාන යැ අධිමාන යැ අස්මිමාන යැ මිථ්‍යාමාන යැ යි.
අට අයුරෙකින් මානය වෙයි: ලාභයෙන් මානය උපදවයි, අලාභයෙන් අවමානය (හීනමානය) උපදවයි, යසසින් මානය උපදවයි, අයශසින් අවමානය උපදවයි, ප්‍රශංසායෙන් මානය උපදවයි, නින්‍දායෙන් අවමානය උපදවයි, සුඛයෙන් මානය උපදවයි, දුඃඛයෙන් අවමානය උපදවයි.
නව අයුරෙකින් මානය වෙයි: ‘මම් ශ්‍රෙෂ්ඨයාහට ශ්‍රෙෂ්ඨයෙමී’ මාන යැ, ‘මම් ශ්‍රෙෂ්ඨයාහට සදෘශයෙමී’ මාන යැ, ‘මම් ශ්‍රෙෂ්ඨයාහට හීනයෙමී’ මාන යැ, ‘මම් සදෘශයාහට ශ්‍රෙෂ්ඨයෙමී’ මාන යැ, ‘මම් සදෘශයාහට සදෘශයෙමී’ මාන යැ, ‘මම් සදෘශයාහට හීනයෙමී’ මාන යැ, ‘මම් හීනයාහට ශ්‍රෙෂ්ඨයෙමී’ මාන යැ, ‘මම් හීනයාහට සදෘශයෙමී’ මාන යැ, ‘මම් හීනයාහට හීනයෙමී’ මාන යැ යි.
දස අයුරෙකින් මානය වෙයි: මෙලොවැ කිසිවෙක් ජාතියෙන් වේවයි ගෝත්‍රයෙන් වේවයි කුලපුත්‍රභාවයෙන් වේවයි වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් වේවයි ධනයෙන් වේවයි අධ්‍යයනයෙන් වේවයි කර්‍මායතනයෙකින් වේවයි ශිල්පායතනයෙකින් වේවයි විද්‍යාවකින් වේවයි ශ්‍රැතයෙන් වේවයි ප්‍රතිභානයෙන් වේවයි එක්තරා වස්තුයෙකින් වේවයි මානය උපදවයි.
මෙබඳු වූ යම් මානයෙක් මඤ්ඤනායෙක් මඤ්ඤනා කළ බවෙක් උන්නතියක් ඔසවා තැබීමෙක් මානධ්වජයෙක් සිත නඟාගැන්මෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ නම් මේ ‘මාන’යි කියනු ලැබේ.