10.
බමුණාණෙනි, අවිදු අඳුර දුරැලූ සමතැස් ඇති ලෝකාන්තයට ගිය හැමභවයන් ඉක්ම වූ ආශ්‍රව රහිත වූ සියලු දුක් දුරැලූ සත්‍යනාම ඇති බුදුහු මා විසින් උපාශ්‍රීතයහ.
තමොනුදො බුද්ධෝ සමන්තචක්‍ඛු - ‘තමොනුදො’ යනු: ප්‍රඥා ලෝකය අඳුරු කරන, නුවණැස ඇති නො කරන, නො දැනීම ඇති කරන, පැනැස නසන, පීඩාපක්ෂයෙහි වූ, නිවන පිණිස නො පවත්නා වූ සියලු රාගාන්ධකාරය ද්වේෂාන්ධකාරය මෝහාන්‍ධකාරය මානාන්ධකාරය දෘෂ්ට්‍යන්ධකාරය, ක්ලේශාන්ධකාරය දුශ්චරිතාන්ධකාරය දුරු කළහ, වෙසෙසින් දුරු කළහ, පරිත්‍යාග කළහ, බැහැර කළහ, විගතාන්ත කළහ, අනුඅභාවයට පැමිණවූහ. බුද්ධෝ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... මේ ‘බුද්ධ’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියකි. ‘සමන්තචක්‍ඛු’ යි සර්‍වඥතාඥානය කියනු ලැබෙයි. ... එයින් තථාගතයෝ ‘සමන්තචක්‍ඛු’ නම් වෙත් නුයි ‘තමොනුදො බුද්ධෝ සමන්තචක්‍ඛු’ යනු වේ.
ලොකන්තගූ සබ්බභවාතිවත්තො - ‘ලෝකෝ’ යනු: එක් ලොකයෙක් වෙයි: භවලොකය යි.
ලෝකයෝ දෙදෙනෙක් වෙති: භවලොකය ද සම්භවලොකය දැයි, සම්පත්තිභවලොකය ද සම්පත්තිසම්භවලොකය දැ යි, විපත්තිභවලොකය ද විපත්තිසම්භව ලෝකය දැ යි.
ලෝකයෝ තිදෙනෙක් වෙති: තුන් වේදනා යැ.
ලෝකයෝ සතර දෙනෙක් වෙති: සතර ආහාරයෝ යැ.
ලෝකයෝ පස් දෙනෙක් වෙති: පඤ්ච උපාදානස්කන්‍ධයෝ යැ.
ලෝකයෝ ස දෙනෙක් වෙති: අධ්‍යාත්මික ආයතනයෝ සදෙන යැ.
සප්තලොකයෝ: සප්තවිඥානස්ථිතිහු යැ.
අෂ්ටලොකයෝ: අෂ්ටලොකධර්මයෝ යැ.
නවලොකයෝ: නව සත්තාවාසයෝ යැ.
දශලොකයෝ: දශ ආයතනයෝ යැ.
ද්වාදශලොකයෝ: දොළොස් ආයතනයෝ යැ.
අටළොස් ලෝකයෝ: අටළොස් ධාතුහු යි.
ලොකන්තගූ බුදුහු ලෝකයෙහි අන්තයට ගියහ. අන්තයට පැමිණියහ. කෙළවරට ගියහ කෙළවරට පැමිණියහ. නිවනට ගියහ නිවනට පැමිණියහ. උන් වහන්සේ වැස නිම වූ දශවිධ ආර්‍ය්‍යවාස ඇතියහ (ශීලයෙහි හා සමාධියෙහි) චීර්ණවශීහ ... ජාතිමරණසංසාරය පුනර්‍භවය උන්වහන්සේට නැත් නුයි ‘ලොකන්තගූ’ යනු වේ. සබ්බභවාතිවත්තො- ‘භවා’ යනු: භවයෝ දෙදෙනෙක් වෙති: කර්‍මභවය ද ප්‍රතිසන්‍ධි ඇති පුනර්‍භවය දැයි. කර්‍මභවය කවරැ යත්: පුණ්‍යාභිසංස්කාර යැ අපුණ්‍යාභිසංස්කාර යැ අනෙඤ්ජාභිසංස්කාර යි. මේ කර්‍මභවය යි. ප්‍රතිසන්ධික පුනර්‍භවය කවරැ යත්: පිළිසඳ ඇති රූප යැ වේදනා යැ සංඥා යැ සංස්කාරයෝ යැ විඥාන යැ යි. මේ ප්‍රතිසන්ධික පුනර්‍භවය යි. බුදුහු කර්‍මභවය ද ප්‍රතිසන්ධිකපුනර්භවය ද ඉක්මවූහ, අතික්‍රමණය කළහ, වෙසෙසින් ඉක්මවූවාහු නුයි ‘ලොකන්තගූ සබ්බභවාතිවත්තො’ යනු වේ.
අනාසවො සබ්බදුක්‍ඛප්පහායිනො - ‘අනාසවො’ යනු: ආස්‍රවයෝ සතර දෙනෙකි: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි. ඒ ආස්‍රවයෝ භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ උසුන්මුල් ඇතියහ හිස්සුන් තල් රුකක් සෙයින් අවස්තුක කරන ලදහ අනු අභාවය කරන ලදහ. (එහෙයින් මැ) ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු අනාස්‍රවයහ. සබ්බදුක්‍ඛප්පහායිනො යනු: උන් වහන්සේ විසින් පිළිසඳ ඇති හැම ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ශෝක පරිදෙවදුඃඛදෞර්මනස්‍ය උපායාස දුක ... දෘෂ්ටිව්‍යසනයෙන් වන දුක ප්‍රහීණ යැ සිඳුනා ලද යැ සන්හිඳුවන ලද යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධ යැ යළි උපදනට නොනිසි යැ නුවණ ගින්නෙන් දවන ලදි. එයින් බුදුහු ‘සබ්බදුක්‍ඛප්පහායී’ වෙත් නුයි ‘අනාසවො සබ්බදුක්‍ඛප්පහායි’ යනු වේ.