8.
ආයුෂ්මත් පිඞ්ගිය (බාවරීහට) මෙසේ පැවැසී: පාරායණය බුදුන් වදාළ සෙයින් කියනෙම්, (බුදුහු) යම්සේ (සත්‍යාභිසම්බෝධයෙන්) දුටු සේක් නම් එසේ වදාළහ, නිර්‍මල වු විපුල ප්‍රඥා ඇති ප්‍රහීණ වූ කාම ඇති කෙලෙස් වල් හෝ තෘෂ්ණා විරහිත බුද්ධනාග තෙමේ කුමක් හෙයින් මුසවා කියන්නේ ද?
පාරායනමනුගායිස්සං යනු: ගීතය අනුව ගයනෙම් කථිතය අනුව කියනෙම් භණිතය අනුව බණනෙම් ලපිතය අනුව තෙපලනෙම් භාෂිතය අනුව භාෂණය කරනෙම් නුයි ‘පාරායනමනුගායිස්සං’ යනු වේ.
ඉච්චායස්මා පිඞ්ගියො - ‘ඉච්චා’ යනු: පදසන්ධි යැ ... තෙල ‘ඉච්චා’ යනු: පදානුපූර්‍වතා ද වෙයි. ආයස්මා යනු: ප්‍රිය වචන යැ ගරු වචන යැ තෙල ‘ආයස්මා’ යනු සගෞරව සප්‍රතිශ්‍රය නමෙකි. පිඞ්ගියො යනු: ඒ තෙරුන්ගේ නාම යැ සඞ්ඛ්‍යා යැ සමඤ්ඤා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නම යැ නාමකර්ම යැ නාමධෙය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප නුයි ‘ඉච්චායස්මා පිඞ්ගියො’ යනු වේ.
යථා අද්දක්‍ඛි තථා අක්‍ඛාසි යනු: දුටු පරිදි වදාළහ පැවැසූහ දෙසූහ පැනැවූහ තැබූහ විවෘති කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළහ. ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි දුටු පරිදි වදාළහ පැවැසූහ දෙසූහ පැනැවූහ තැබූහ විවෘති කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළහ. ‘හැම සංස්කාරයෝ දුක්හ’යි ... ‘යම් කිසි සමුදය ධර්‍මයෙක් ඇත් නම් ඒ හැම නිරෝධස්වභාවය ඇතැ’යි දුටු පරිදි වදාළහ පැවැසූහ දෙසූහ පැනැවූහ තැබූහ විවරණ කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළාහු නුයි යථා අද්දක්‍ඛි තථා අක්‍ඛාසි යනු වේ.
විමලො භූරි මෙධසො - ‘විමලො’ යනු: රාගය මලයෙක ද්වේෂය මලයෙක මෝහය මලයෙක ක්‍රෝධය - උපනාහය ... හැම අකුශලාභිසංස්කාරයෝ මලයෝ යි. ඒ මලයෝ භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ මුලසුන් කරනලදහ මුල්උදුළ තල්වත්තක් සෙයින් කරන ලදහ අනුඅභාවය කරන ලදහ (එහෙයින්) ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු අමලයහ, විමලයහ, නිර්‍මලයහ, කස වූ මල ඇතියහ, වෙසෙසින් ප්‍රහීණ වූ මල ඇතියහ, මලයෙන් විප්‍රමුක්තයහ, හැම ක්ලේශ මලයන් ඉක්ම වූහ. ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි, බුදුහු ඒ පෘථිවි සම වූ විපුල වූ විස්තෘත වූ ප්‍රඥායෙන් සමන්‍වාගතයහ. ‘මේධා’ යි ප්‍රඥාව කියනු ලැබෙයි. “යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි. බුදුහු මේ මේධා සංඛ්‍යාත ප්‍රඥායෙන් යුක්ත වූවාහු සමුපේත වූවාහු උපගත වූවාහු සමුපගත වූවාහු නො වෙන් වූවාහු පරිපූර්‍ණ වූවාහු සමන්‍වාගත වූවාහු වෙති. එයින් බුදුහු ‘සුමෙධස’ නුයි ‘විමලො භූරි මෙධසො’ යනු වේ.
නික්කාමො නිබ්බනො නාගො - ‘කාමා’ යනු: විස්තර විසින් වස්තු කාමයෝ ද ක්ලේශකාමයෝ දැයි කාම දෙකෙකි. ... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති. ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. භාග්‍යවත් බුදුන් විසින් වස්තුකාමයෝ සාමාන්‍ය ලක්‍ෂණාවබොධයෙන් දන්නා ලදහ ක්ලේශකාමයෝ ප්‍රහාණය කරන ලදහ වස්තුකාමයන් පරිඥාත වන බැවින් ක්ලේශකාමයන් ප්‍රහීණ වන බැවින් බුදුහු කාමයන් නො කැමැති වෙති, කාමයන් ඊප්සා නො කෙරෙති, කාමයන් ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙති, කාමයන් පිහායන (මැනැවින් පැතීම) නො කෙරෙති, කාමයන් උදෙසා වාග්භේද නො කෙරෙත්. යම් කෙනෙක් කාමයන් කැමැති වෙත් ද කාමයන් ඊප්සාකෙරෙත් ද කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත් ද කාමයන් පිහායන කෙරෙත් ද කාමයන් උදෙසා වාග්භේද කෙරෙත් ද, ඔහු කාමකාමීහු රාගරාගීහු සංඥාසංඥීහු වෙති. බුදුහු කාමයන් කැමැති නො වෙති, කාමයන් ඊප්සා නො කෙරෙති, කාමයන්ප්‍රාර්‍ථනා නොකෙරෙති කාමයන් පිහායන නො කෙරෙති කාමයන් උදෙසා වාග්භේද නො කෙරෙත්. එයින් බුදුහු අකාමයහ, නිෂ්කාමයහ, ත්‍යක්තකාමයහ, වාන්තකාමයහ, මුක්තකාමයහ, ප්‍රහීණකාමයහ, ප්‍රතිනිඍෂ්ටකාම (බැහැර කළ කාම ඇති) යහ, වීතරාගයහ, විගතරාගයහ, ත්‍යක්තරාගයහ, වාන්තරාගයහ, මුක්තරාගයහ, ප්‍රහීණරාගයහ ප්‍රතිනිඍෂ්ටරාගයහ, තෘෂ්ණා රහිතයහ, නිවියාහ, සිහිල් වූහ, කායික චෛතසික සුව විඳින්නාහු උතුම් පියවි ඇති සිතින් යුතු වැ වාසය කෙරෙත් නුයි ‘නික්කාමො’ යනු වේ. නිබ්බනො යනු: රාගය (වන සදෘශ වන බැවින) වන යැ, ද්වේෂය වන යැ, මෝහය වන යැ, ක්‍රෝධය වන යැ, බද්ධවෛරය වන යැ ... හැම අකුශලාභිසංස්කාරයෝ වනයෝ යි. ඒ වනයෝ භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ, උසුන්මුල් ඇතියහ, හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තුක කරන ලදහ, අනුඅභාවය කරන ලදහ, ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු වන රහිතයහ පහවූ වන ඇතියහ නිර්වණයහ වනයෙන් පහවූහ වන විප්‍රහීණයහ වන විප්‍රමුක්තයහ හැම වනයන් ඉක්මවූහ නුයි නිබ්බනො යනු වේ. නාගො යනු: බුදුහු නාගයහ පව් නො කෙරෙත් නුයි නාගයහ (අගතියට) නො යෙත් නුයි නාගයහ (පුහුන් කෙලෙසුන් කරා) නො එත් නුයි නාගයහ ... මෙසෙයින් බුදුහු නොඑත් නුයි නාගයහ’යි ‘නික්කාමො නිබ්බනො නාගො’ යනු වේ.
කිස්ස හේතු මුසා භණෙ - ‘කිස්ස හේතු’ යනු: කවර හෙයින් කුමක් හෙයින් කවර කරුණින් කුමක් නිදානකොට කුමක් ප්‍රත්‍යය කොට නුයි ‘කිස්ස හේතු’ යනු වේ. මුසා භණෙ යනු: මුසවා බෙණෙන්නේ ද කියන්නේ ද පවසන්නේ ද වහරන්නේ ද, මුසා භණෙ යනු: මුසාබස් බෙණෙන්නේ ද මුසවා බෙණෙන්නේ ද අනාර්‍ය්‍යවචන බෙණෙන්නේ ද “මෙලොවැ කිසිවෙක් සභායෙහි සිටියේ හෝ ගම්සභායෙහි සිටියේ හෝ නෑයන් මැද සිටියේ හෝ සේනා මැද සිටියේ හෝ රදොල් මැද සිටියේ හෝ සාක්ෂියට කැඳවන ලදුයේ ‘එව එම්බා පුරුෂය, දන්නා දැය කිය’යි සාක්‍ෂි අසන ලදුයේ හෝ නො දන්නේ මැ ‘දනිමී’ කියයි, දන්නේ මැ ‘නො දනිමී’ කියයි, නො දක්නේ මැ ‘දක්මී කියයි, දක්නේ මැ ‘නො දක්මී’ කියයි. මෙසේ තමා නිසා හෝ මෙරමා නිසා හෝ මඳවූ අල්ලසක් නිසා හෝ දැන දැන බොරු කියයි. මේ ‘මොසවජ්ජ’යී කියනු ලැබෙයි.