7.
උතුම් වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩනුයේ අපාර සංඛ්‍යාත සසරින් පරතෙරට යන්නේ යැ පාරගමනයට හේ මාර්‍ග වෙයි. එහෙයින් ‘පාරායණ’ නම් වී යයි.
අපාරා පාරං ගච්ඡෙය්‍ය - ‘අපාර’ යි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙති. ‘පාර’ යි අමාමහනිවන කියනු ලැබෙයි. ... තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. අපාරා පාරං ගච්ඡෙය්‍ය යනු: අපාරයෙන් පාරයට යන්නේ යැ පාරයට පැමිණෙන්නේ යැ පාරය පහස්නේ යැ පාරය ප්‍රත්‍යක්‍ෂ කරන්නේ නුයි ‘අපාරා පාරං ගච්ඡෙය්‍ය’ යනු වේ.
භාවෙන්තොමග්ගමුත්තමං - ‘මග්ගමුත්තමං’ (උත්තමමාර්ග) යි ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්‍ගය කියනු ලැබෙයි. හෙ මෙසේයි. සම්‍යග්දෘෂ්ටි යැ ... සම්‍යක් සමාධි යි. මග්ගමුත්තමං යනු: අග්‍ර මාර්‍ග යැ ශ්‍රේෂ්ඨ ජ්‍යේෂ්ඨ ප්‍රමුඛ උත්තම ප්‍රවර මාර්‍ගය. භාවෙන්තො යනු: වඩනුයේ සෙවුනේ බහුල කරනුයේ නුයි ‘භාවෙන්තො මග්ගමුත්තමං’ යනු වේ.
මග්ගෝ සො පාරං ගමනාය යනු:
1. මග්ග යැ පන්‍ථක යැ පථ යැ පජ්ජ යැ අඤජසය යැ වටුම යැ අයන යැ නාවා යැ උත්තරසෙතු යැ කුල්ල යැ හිසි යැ සඞ්කම යි.
පාරං ගමනාය යනු: පරායට යනු පිණිස පරායට පැමිණෙනු පිණිස පරායට මැනැවින් පැමිණෙනු පිණිස ජරාමරණයාගේ තරණය පිණිස නුයි ‘මග්ගෝ සො පාරං ගමනාය’ යනු වේ.
තස්මා පාරායනං ඉති - ‘තස්මා’ යනු: එයින් එ කරුණින් එ හෙයින් තත්ප්‍රත්‍යයෙන් තත්නිදානයෙන්. ‘පාර’ යි අමාමහනිවන කියනු ලැබෙයි. ... නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. ‘අයන’ යි මාර්‍ගය කියනු ලැබෙයි. ඉති යනු: පද සන්‍ධි යැ .. තෙල ‘ඉති’ යනු පදානුපූර්‍වතා නුයි ‘තස්මා පාරායනං ඉති’ යනු වේ.
එයින් තෙල කියනු ලැබෙයි:
“අපාරා පාරං ගච්ඡෙය්‍ය -පෙ- තස්මා පාරායනං ඉති” යි.
8.
ආයුෂ්මත් පිඞ්ගිය (බාවරීහට) මෙසේ පැවැසී: පාරායණය බුදුන් වදාළ සෙයින් කියනෙම්, (බුදුහු) යම්සේ (සත්‍යාභිසම්බෝධයෙන්) දුටු සේක් නම් එසේ වදාළහ, නිර්‍මල වු විපුල ප්‍රඥා ඇති ප්‍රහීණ වූ කාම ඇති කෙලෙස් වල් හෝ තෘෂ්ණා විරහිත බුද්ධනාග තෙමේ කුමක් හෙයින් මුසවා කියන්නේ ද?
පාරායනමනුගායිස්සං යනු: ගීතය අනුව ගයනෙම් කථිතය අනුව කියනෙම් භණිතය අනුව බණනෙම් ලපිතය අනුව තෙපලනෙම් භාෂිතය අනුව භාෂණය කරනෙම් නුයි ‘පාරායනමනුගායිස්සං’ යනු වේ.
ඉච්චායස්මා පිඞ්ගියො - ‘ඉච්චා’ යනු: පදසන්ධි යැ ... තෙල ‘ඉච්චා’ යනු: පදානුපූර්‍වතා ද වෙයි. ආයස්මා යනු: ප්‍රිය වචන යැ ගරු වචන යැ තෙල ‘ආයස්මා’ යනු සගෞරව සප්‍රතිශ්‍රය නමෙකි. පිඞ්ගියො යනු: ඒ තෙරුන්ගේ නාම යැ සඞ්ඛ්‍යා යැ සමඤ්ඤා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නම යැ නාමකර්ම යැ නාමධෙය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප නුයි ‘ඉච්චායස්මා පිඞ්ගියො’ යනු වේ.
යථා අද්දක්‍ඛි තථා අක්‍ඛාසි යනු: දුටු පරිදි වදාළහ පැවැසූහ දෙසූහ පැනැවූහ තැබූහ විවෘති කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළහ. ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි දුටු පරිදි වදාළහ පැවැසූහ දෙසූහ පැනැවූහ තැබූහ විවෘති කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළහ. ‘හැම සංස්කාරයෝ දුක්හ’යි ... ‘යම් කිසි සමුදය ධර්‍මයෙක් ඇත් නම් ඒ හැම නිරෝධස්වභාවය ඇතැ’යි දුටු පරිදි වදාළහ පැවැසූහ දෙසූහ පැනැවූහ තැබූහ විවරණ කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළාහු නුයි යථා අද්දක්‍ඛි තථා අක්‍ඛාසි යනු වේ.
විමලො භූරි මෙධසො - ‘විමලො’ යනු: රාගය මලයෙක ද්වේෂය මලයෙක මෝහය මලයෙක ක්‍රෝධය - උපනාහය ... හැම අකුශලාභිසංස්කාරයෝ මලයෝ යි. ඒ මලයෝ භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ මුලසුන් කරනලදහ මුල්උදුළ තල්වත්තක් සෙයින් කරන ලදහ අනුඅභාවය කරන ලදහ (එහෙයින්) ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු අමලයහ, විමලයහ, නිර්‍මලයහ, කස වූ මල ඇතියහ, වෙසෙසින් ප්‍රහීණ වූ මල ඇතියහ, මලයෙන් විප්‍රමුක්තයහ, හැම ක්ලේශ මලයන් ඉක්ම වූහ. ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි, බුදුහු ඒ පෘථිවි සම වූ විපුල වූ විස්තෘත වූ ප්‍රඥායෙන් සමන්‍වාගතයහ. ‘මේධා’ යි ප්‍රඥාව කියනු ලැබෙයි. “යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි. බුදුහු මේ මේධා සංඛ්‍යාත ප්‍රඥායෙන් යුක්ත වූවාහු සමුපේත වූවාහු උපගත වූවාහු සමුපගත වූවාහු නො වෙන් වූවාහු පරිපූර්‍ණ වූවාහු සමන්‍වාගත වූවාහු වෙති. එයින් බුදුහු ‘සුමෙධස’ නුයි ‘විමලො භූරි මෙධසො’ යනු වේ.