4.
පැන පුළුවුස්නා ලද බුදුහු ඔවුනට ඇති සැටියෙන් ප්‍රකාශ කළහ. සර්‍වඥ මුනීහු පැන විසඳීමෙන් බමුණන් තුටු කළහ.
තෙසං බුද්ධෝ ඛ්‍යාකාසි - ‘තෙසං’ යනු: පාරායන සමාගමයෙහි වූ සොළොස් බමුණනට. බුද්ධෝ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... මේ ‘බුද්ධ’ යන නාමය සාක්‍ෂාත් ප්‍රඥප්තියකි. බ්‍යාකාසි යනු: ඔවුනට බුදුහු විවරණ කළහ. වදාළහ දෙසූහ පැනැවූහ පිහිටුවූහ විවෘති කළහ විභාග කළහ පාළ කළහ ප්‍රකාශ කළාහු නුයි ‘තෙසං බුද්ධෝ බ්‍යාකාසි’ යනු වේ.
පඤ්හෙ පුට්ඨො යථාතථං - ‘පඤ්හෙ පුට්ඨො යනු: ප්‍රශ්නයන් පුළුවුස්නා ලදහු විචාරන ලදහු අයදනා ලදහු අධ්‍යෙෂණ කරන ලදහු පහදවන ලදහු. යථා තථං යනු: යම්සේ වදාළ යුතු නම් එසේ වදාළය, යම්සේ දෙසිය යුතු නම් එසේ දෙසූය, යම්සේ පැනැවිය යුතු නම් එසේ පැනැවූහ, යම්සේ පිහිටුවිය යුතු නම් එසේ පිහිටුවූහ, යම්සේ විවෘති කළ යුතු නම් එසේ විවෘති කළහ, යම්සේ විභාග කළ යුතු නම් එසේ විභාග කළහ, යම්සේ පාළ කළ යුතු නම් එසේ පාළ කළහ, යම්සේ ප්‍රකාශ කළ යුතු නම් එසේ ප්‍රකාශ කළාහු නුයි ‘පඤ්හෙ පුට්ඨො යථා තථං’ යනු වේ.
පඤ්හානං වෙය්‍යාකරණෙන යනු: පැන විසඳීමෙන් පැවැසීමෙන් දෙසීමෙන් පැනැවීමෙන් පිහිටුවීමෙන් විවෘති කිරීමෙන් විභාග කිරීමෙන් පාළ කිරීමෙන් ප්‍රකාශ කිරීමෙනැ’යි ‘පඤ්හානං වෙය්‍යාකරණෙන’ යනු වේ.
තොසෙසි බ්‍රාහ්මණෙ මුනි - ‘තොසෙසි’ යනු: තුටු කළහ, විවිධාකාරයෙන් තුටු කළහ, පැහැද වූහ, සිද්ධියට පැමිණවූහ, සියමන ඇතියන් කළහ. බ්‍රාහ්මණෙ යනු: පාරායන සමාගමයෙහි වූ බ්‍රාහ්මණයන්. මුනි - ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි. ... රාගාදි සඞ්ගය හා තෘෂ්ණා දෘෂ්ටි ජාලය ඉක්ම සිටි හේ ‘මුනි’ නම් වේ නුයි ‘තොසෙසි බ්‍රාහ්මණෙ මුනි’ යනු වේ.
එයින් තෙල කියනු ලැබෙයි:
“තෙසං බුද්ධෝ බ්‍යාකාසි -පෙ- තොසෙසි බ්‍රාහ්මණෙ මුනි” යි.
5.
ඔහු පසැස් ඇති සූර්‍ය්‍ය බන්‍ධු වූ බුදුරජුන් විසින් තුටු කරන ලද්දාහු උත්තම ප්‍රාඥ වූ සර්‍වඥයන් වහන්සේ වෙත බඹසරවස් වුසූහ.
තෙ තොසිතා චක්‍ඛුමතා - ‘තෙ’ යනු: පාරායණසමාගමයෙහි වූ සොළොස් බමුණහු යැ. තොසිතා යනු: තුටු කරන ලද්දාහු විවිධාකාරයෙන් තුටු කරන ලද්දාහු පහදවන ලද්දාහු සිද්ධියට පමුණුවන ලද්දාහු (සොම්නස් විසින්) සියමන ඇතියන් කරන ලද්දාහු නුයි ‘තෙ තොසිතා’ යනු වේ. චක්‍ඛුමතා යනු: බුදුහු පසැසින් චක්ෂුර්මත්හ: මසැසිනුදු චක්ෂුර්මත්හ, දිවැසිනුදු චක්ෂුර්මත්හ ... බුදුහු සමතැසිනුදු චක්ෂුර්මත්හ’යි ‘තෙ තොසිතා චක්‍ඛුමාතා’ යනු වේ.
බුද්ධෙනාදිච්චබන්‍ධුනා - ‘බුද්ධ’ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... මේ ‘බුද්ධ’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියකි. ආදිච්චබන්‍ධුනා - ‘ආදිච්ච’යි සූර්‍ය්‍යයා කියනු ලැබෙයි. හේ ගෝත්‍රයෙන් ගෞතම යැ. බුදුහු ද ගෝත්‍රයෙන් ගෞතම යැ බුදුහු සූර්‍ය්‍යහට ගෝත්‍රයෙන් ඥාතීහ ගෝත්‍රයෙන් බන්ධුහ එයින් බුදුහු ‘ආදිත්‍ය බන්‍ධු නම් වෙතී” ‘බුද්ධෙනා දිච්ච බන්‍ධුනා’ යනු වේ.