19.
බ්‍රාහ්මණයෙනි: (මම්,) අප්‍රමත්ත වූයෙම් ද්වරැයැ ඇසින් මෙන් මනසින් ඒ ගෞතම බුදුන් දක්මි, නමස්කාර කෙරෙමින් මැ රැය ඉක්මවමි, එයින් මැ අවිප්‍රවාසය හඟිමි.
පස්සාමිනං මනසා චක්ඛුනා වා- යම්සේ ඇස් ඇති පුරුෂයෙක් ආලෝකයෙහි රූපගතයන් බලා නම් දකී නමි අවලෝකනය කෙරේ නම් නිධ්‍යාන කෙරේ නම් විමසා නම් එසෙයින් මැ මම් භාග්‍යවත් බුදුන් මනසින් බලමි දකිමි අවලොකනය කෙරෙමි නිධ්‍යාන කෙරෙමි පිරික්සම් නුයි ‘පස්සාමිනං මනසා චක්ඛුනා වා’ යනු වේ.
රත්තිං දිවං බ්‍රාහ්මණ අප්පමත්තො යනු: රැයිදු දවහල්හිදු අප්‍රමත්ත වැ බුද්ධානුස්මෘතිය මනසින් වඩනුයෙම් නුයි ‘රත්තිං දිවං බ්‍රාහ්මණ අප්පමත්තො’ යනු වේ.
නමස්සමානො විවසෙමි රත්තිං- ‘නමස්සමානො’ යනු: කයින් හෝ නමස්කාර කරනුයෙම් වචනයෙන් හෝ නමස්කාර කරනුයෙම් සිතින් හෝ නමස්කාර කරනුයෙම් අන්‍වර්ථ ප්‍රතිපත්තියෙන් හො නමස්කාර කරනුයෙම් ධර්මානුධර්මප්‍රතිපත්තියෙන් හෝ නමස්කාර කරනුයෙම් සත්කාර කරනුයෙම් ගරු කරනුයෙම් මාන්න කරනු යෙම් පූජා කරනුයෙම් දිවරැය ගෙවමි ඉක්මවමි අතික්‍රමණය කෙරෙම් නුයි ‘නමස්සමානො විවසෙමි රත්තිං’ යනු වේ.
තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං- ඒ බුද්ධානු ස්මෘතිය වඩනුයෙම් උන්වහන්සේ අවිප්‍රවාස කොට හඟිමි උන් වහන්සේ අවිප්‍රවාස වූවන් කොට හඟිමි, දනිමි මෙසේ දනිමි මෙසේ එකත්නෙන් දනිමි මෙසේ අනෙකප්‍රකාරයෙන් දනිමි මෙසේ සකාරණ වැ දනිමි මෙසේ ප්‍රතිවේධ කෙරෙම් නුයි ‘තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“පස්සාමි නං මනසා -පෙ- තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං” යි.
20.
මාගේ ශ්‍රද්ධාව ද ප්‍රීතිය ද මනස ද ස්මෘතිය ද ගෞතමසාශනයෙන් පහ වැ නො යෙති. විපුල ප්‍රඥා ඇති උන් වහන්සේ යම් යම් දෙසකට වඩනාසේක් ද ඒ ඒ දෙසට මැ මම් නම්‍ර වූයෙම් වෙමි.
සද්ධා ච පීති ච මනෝ සතිමා- ‘සද්ධා’ යනු, භාග්‍යවතුන් ඇරැබ යම් ශ්‍රද්ධාවක් හදහන අයුරෙක් ගුණයෙහි බැසගැනීමෙක් අතිශය ප්‍රසාදයෙක් හැදෑරීමෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් ... ප්‍රීති යනු: බුදුන් ඇරැබ යම් ප්‍රීතියක් ප්‍රමුදිත බවෙක් ආමොදනයෙක් ප්‍රමෝදනයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් විත්තියක් තුෂ්ටියක් උදග්‍ර බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද එය යි. මනෝ යනු: භාග්‍යවතුන් ඇරැබ යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ගමනසෙක් මන සඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප මනෝවිඥාන ධාතුයෙක් වේ ද එය යි. සති යනු: භාග්‍යවතුන් ඇරැබ යම් ස්මෘතියක් අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් වේ ද ඒ නුයි ‘සද්ධා ච පීති ච මනෝ සතීච’ යනු වේ.