14.
යම් භාග්යවත් කෙනෙක් මට තමා විසින් දැක්ක යුතු ඵල ඇති, නො ද කාලාන්තරයෙහි වින්ද යුතු ඵල ඇති, තෘෂ්ණාක්ෂය වූ, උවදුරු නැති, දහම් දෙසූසේක් ද ඒ භාග්යවතුන් වහන්සේ යි.
යො මෙ ධම්මමදේසෙසි - ‘යො’ යනු: යම් භාග්යවත් කෙනෙක් (පරෝපදේශ රහිත වැ) තමන් වහන්සේ මැ (සත්යයන්) අවබෝධ කළ සේක් ද ආචාර්ය්යයන් නැත්තාහු ද පෙර නො ඇසූවිරූ දහම්හි සත්යයන් තුමූ මැ අවබෝධ කළාහු ද එහි දූ සර්වඥභාවයට පැමිණියාහු ද බලධර්මයන්හි දු වශීභාවයට පැමිණියාහු ද උන්වහන්සේ ධම්මමදෙසෙසි - ‘ධම්මං’ යනු: ආදිකල්යාණ වූ ... අර්ත්ථ සහිත වූ ව්යඤ්ජන සහිත වූ සියල්ල සම්පූර්ණ වූ පරිශුද්ධ වූ මාර්ගබ්රහ්මචර්ය්යාව සතර සතිපට්ඨානය ... ආර්ය්ය අෂ්ටාඞ්ගික මාර්ගය නිවන හා නිවනට යන සුලු පිළිවෙත හා වදාළහ දෙසූහ පැනැවූහ තැබූහ විවරණ කළහ විභාග කළහ පාළ කළහ ප්රකාශ කළාහුනුයි ‘යො මෙ ධම්මමදෙසෙසි’ යනු වේ.
සන්දිට්ඨිකමකාලිකං යනු: තමා විසින් දැක්කයුතු ඵල ඇති කල් නො යවා වින්ද යුතු ඵල ඇති ‘එව බලව’යි කීමට නිසි උපනයනයට (එළඹීමට) නිසි නුවණැතියන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු නුයි මෙසේත් ‘සන්දිට්ඨික’ නම් වෙයි. නොහොත් යමෙක් මෙ අත් බැව්හි මැ ආර්ය්ය අෂ්ටාඞ්ගිකමාර්ගය වඩා ද ඒ මාර්ගයට අනතුරු වැ සමනන්තර වැ ඵලය ඒකාන්තයෙන් ප්රත්යක්ෂ කෙරෙයි විඳියි ප්රතිලාභ කෙරේ නුයි මෙසේත් ‘සන්දිට්ඨික මකාලිකං’ යනු වේ. යම්සේ මිනිස්සු කාලික වූ ධනය දී අනතුරු වැ නො ලබත් ද කල් බලත් ද මේ දහම එසෙයින් නො මැ වෙයි. යමෙක් මෙ අත්බැව්හි මැ ආර්ය්ය අෂ්ටාඞ්ගිකමාර්ගය වඩා ද ඒ මාර්ගයට අනතුරු වැ සමනන්තර වැ ඵලය ඒකාන්තයෙන් ප්රත්යක්ෂ කෙරෙයි විඳියි ලබයි. පරාත්මභාවයෙහි පරලෝකයෙහි නො වෙයි මෙසේ අකාලික වේ නුයි ‘සන්දිට්ඨිකමකාලිකං’ යනු වේ.
තණ්හක්ඛයමනීතිකං - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ... ධර්මතෘෂ්ණා යි. තණ්හක්ඛයං යනු: තෘෂ්ණාක්ෂය යැ රාගක්ෂය යැ ද්වෙෂක්ෂය යැ මෝහක්ෂය යැ ගතක්ෂය යැ උපප්රාප්තික්ෂය යැ ප්රතිසන්ධික්ෂය යැ භවක්ෂය යැ සංසාරක්ෂය යැ වෘත්තක්ෂය යැ. අනීතිකං යනු: ක්ලේශයෝ ද ස්කන්ධයෝ ද අභිසංස්කාරයෝ ද ‘ඊති’ යි කියනු ලැබෙති. ඊතිප්රහාණ යැ ඊතිව්යුපශම යැ ඊති දුරැලීම යැ ඊති සන්හිඳුවීම යැ අමාමහනිවන නුයි ‘තණ්හක්ඛයමනීතිකං’ යනු වේ.
යස්ස නත්ථි උපමා කච්චි - ‘යස්ස’ යනු: නිර්වාණයට යැ. ‘නත්ථි උපමා’ යනු: උපමා නැත් ද, කච්චි යනු: අධ්යාත්ම වේවයි බාහ්ය වේවයි කිසි තැනෙකැ කිසිවකැ නුයි ‘යස්ස නත්ථි උපමා ක්වචි’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
‘යො මෙ ධම්මමදෙසෙසි -පෙ- යස්ස නත්ථි උපමා ක්වචී” යි.
15.
පිඞ්ගිය කිම තෙපි ඒ ඥානධ්වජ ඇති ගෞතමයන් කෙරෙන් විපුලප්රඥා ඇති ගෞතමයන් කෙරෙන් මොහොතක් පවා වෙන් වැ වසවු ද?
කින්නු තම්හා විප්පවස්සි යනු: කිම බුදුන් කෙරෙන් වෙන් වැ වසවු ද? පහවවු ද? බැහැර වවු ද? වෙන් වවු දැ?යි ‘කින්නු තම්හා විප්පවසසී’ යනු වේ.
මුහුත්තම්පි පිඞ්ගිය යනු: මොහොතෙක්හි දු, ඇසිල්ලෙක්හි දු,ලයෙක් හි දු වියෙක්හි දු ජීවිත කාලයෙක්හි දු නුයි ‘මුහුත්තම්පි’ යනු වේ. පිඞ්ගිය යනු: බාවරී බමුණු ඒ බෑනණුවන් නමින් අමතයි.
ගොතමා භූරිපඤ්ඤාණා යනු: පෘථුලඥාන ඇති, ඥානයෙක් ප්රකට වූ, ප්රඥාධ්වජ ඇති, ප්රඥාකෙතු ඇති, ප්රඥාධිපති වූ විචය බහුල වූ ප්රවිචය බහුල වූ ප්රෙක්ෂණබහුල වූ සමීක්ෂණ බහුල වූ ප්රකට විහරණ ඇති ඒ ප්රඥාවට බැස සරන එය බහුල කොට ඇති එය ගරු කොට ඇති එයට නැමුණු එයට මැනැවින් නැමුණු එයට බර වූ එහි අධිමුක්ත වූ එය අධිපති කොට ඇති ගෞතමයන් කෙරෙන් නුයි ‘ගොතමා භූරිපඤ්ඤාණා’ යනු වේ.
ගොතමා භූරිමෙධසා - ‘භූරි’යි පෘථිවිය කියනු ලැබෙයි. බුදුහු ඒ පෘථිවි සම වූ විපුල වූ විස්තෘත වූ ප්රඥායෙන් සමන්වාගතයහ. ‘මේධා’යි ප්රඥාව කියනු ලැබෙයි. යම් ප්රඥායෙක් ප්රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්යක්දෘෂ්ටියෙක් වේ ද එය යි. බුදුහු මේ මෙධායෙන් ප්රඥායෙන් උපෙතයහ සමුපෙතයහ උපගතයහ සමුපගතයහ නො වෙන් වූහ පරිපූර්ණයහ සමන්වාගතයහ එයින් බුදුහු ‘සුමෙධස’ නුයි ‘ගොතමා භූරිමෙධසා’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“කින්නුතම්හා විප්පවස්සි -පො- ගොතම භූරිමෙධසා” යි.