13.
අවිදු අඳුරු දුරු කළා වූ ද්‍යුතිමත් වූ ප්‍රභාකර වූ මහත් වූ ඥාන ධ්වජ ඇති ඒ ගෞතමයන් වහන්සේ විපුල ප්‍රඥා ඇති ගෞතමයන් වහන්සේ (පහණසෑ වෙහෙරෙහි) එකලා වැ වැඩහුන් සේක.
ඒකෝ තමොනුදාසිනො - ‘ඒකෝ’ යනු: බුදුහු ප්‍රව්‍රජා සංඛ්‍යාතාර්ථයෙන් අතුල්‍යහ, අද්විතීයාර්ථයෙන් අතුල්‍යහ, තෘෂ්ණාප්‍රහාණාර්ථයෙන් අසහායහ, එකාන්තවීතරාග නුයි අසහායහ, එකාන්තවීත්‍යාදොස නුයි අසහායහ, එකාන්තවීතමොහ නුයි අසහායහ, ඒකාන්තයෙන් නික්ලේශ නුයි අසහායහ, එකායනමාර්ගයට ගියාහු නුයි අසහායහ, අතුල්‍ය වූ අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළාහු නුයි එකයහ.
කිසෙයින් බුදුහු ප්‍රව්‍රජ්‍යාසංඛ්‍යාත අර්‍ත්‍ථයෙන් ‘එක’ වූහ යත්: බුදුහු තරුණ වූවාහු මැ අඳුන්වන් කෙහෙ ඇත්තාහු භද්‍රයෞවනයෙන් යුත් ප්‍රථම වයසින්සමන්වාගත වූවාහු නො කැමැති වැ (එහෙයින් මැ) කඳුළින් තෙමුණු මුහුණු ඇති හඬන වැලැපෙන මව්පියනට අනාදර කොට ඥාතිසමූහයා හැරපියා හැම ගෘහාවාස පරිරොධයන් සිඳපියා අඹුදරු පලිබොධ සිඳපියා ඥාතිපරිරොධ සිඳපියා සග යහළු පලිබොධ සිඳපියා කෙස්රවුළු බහා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්මැ ශාසනයෙහි පිවිදි වැ අකිඤ්චන (කිසිවක් නැති) බවට පැමිණ එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියවු පවත්වති, වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්. මෙසේ බුදුහු ප්‍රව්‍රජ්‍යාසංඛ්‍යාතයෙන් ‘එක’ යහ.
කිසෙයින් බුදුහු අද්විතීයාර්ථයෙන් ‘එක’ වූහ යත්: උන්වහන්සේ මෙසේ පැවිදි වූවාහු එකලා වැ අල්පශබ්ද වූ, අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රාහස්‍යයට ස්ථාන වූ විවේකයට අනුරූප වූ, වනයෙහි දුර සෙනසුන් වනපර්‍ය්‍යන්ත සෙනසුන් ඇසුරු කෙරෙති. උන්වහන්සේ එකලා වැ හැසිරෙති, එකලා වැ යෙති, එකලා වැ සිටිති, එකලා වැ හොවිති, එකලා වැ ගමට පිඬු සිඟා පිවිසෙති, එකලා වැ රහසැ හිඳිති, එකලා වැ සක්මන් කෙරෙති, එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියව් පවත්වති, වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්. මෙසේ බුදුහු ‘අද්විතීයාර්ථයෙන් එකයහ.
කිසෙයින් බුදුහු තෘෂ්ණා ප්‍රහාණාර්ථයෙන් ‘එක’ වූහ යත්: උන්වහන්සේ මෙසේ එකලා වූවාහු අද්විතීය වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ නිවනට මෙහෙය වූ සිත් ඇති වැ වසන්නාහු නෙරඤජරා නදීතීරයෙහි බෝරුක් මුල මහාප්‍රධන්වීර්‍ය්‍ය කරනසේක් කෘෂ්ණකර්ම ඇති (නො මිදිය දෙන හෙයින්) නමුච් නම් වූ ප්‍රමත්තයනට බන්‍ධු වූ සෙන් සහිත මරු විධ්වංසන කොට විසත්තිකා නම් වූ තෘෂ්ණාජාලිනිය දුරු කළහ, බැහැර කළහ, විගතාන්ත කළහ, අනභාවයට පැමිණ වූ සේක.
1. ‘තෘෂ්ණාව දෙවැනි කොට ඇති පුරුෂ තෙම දිගු කලක් මුළුල්ලෙහි සැරිසරනුයේ ඉහාත්මභාව, අනාගතාත්මභාව නොහොත් ඉත්ථම්භාව අන්‍යථාභාව සංඛ්‍යාත වූ සංසාරය නො ඉක්මවයි.
2. මෙසේ (අතීතාදි ස්කන්‍ධයන්හි) ආදීනව දැන, තෘෂ්ණාව දුකට කාරණ යයි දැන, පහ වූ තෘෂ්ණා ඇති ආදාන (ග්‍රහණ) රහිත වූ ස්මෘතිමත් වූ ක්‍ෂීණාස්‍රව මහණ හැසිරෙන්නේ යැ’යි.
මෙසෙයින් බුදුහු තෘෂ්ණාප්‍රහීණාර්ථයෙන් ‘එක’ යහ.
කිසෙයින් බුදුහු ‘එකාන්තවීතරාග’ නුයි එක වූහ යත්: රාගය ප්‍රහීණ වන බැවින් ‘එකාන්තවීතරාග’ නුයි ‘එක’ යහ. ද්වේෂය ප්‍රහීණ වන බැවින් ‘එ්කාන්තවීතරාග’ නුයි ‘එක’ යහ. මෝහය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් වීතමෝහ නුයි ‘එක’ යහ. ක්ලේශයන් ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් නික්ලේශ වූවාහු නුයි ‘එක’ යහ.
කිසෙයින් බුදුහු ඒකායනමාර්ගයට ගියාහු නුයි ‘එක’ වූහ යත්: සතර සතිපට්ඨානයෝ යැ ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය ‘එකායන මාර්‍ගය’යි කියනු ලැබේ.
3. ජාතික්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණය දක්නාසුලුවූ හිතයෙන් අනුකම්පා කරන සුලු වූ බුදුහු එ්කායනමාර්ගය දන්නා සේක. පෙර යම් කෙනෙක් චතුරෝඝය තරණය කළාහු නම් තෙල මාර්‍ගයෙන් තරණය කළාහු යැ. තවද යම් කෙනෙක් මතු තරණය කරන්නාහු නම්, දැන් තරණය කෙරෙත් නම්, මේ මඟින් තරණය කෙරෙත්.
මෙසෙයින් බුදුහු ඒකායනමාර්‍ගයට ගියාහු නුයි ‘එක’ යහ.
කිසෙයින් බුදුහු එකලා වැ අනුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළාහු නුයි ‘එක’ වූහ යත්: සතර මාර්‍ගඥානය ප්‍රඥේන්‍ද්‍රිය ප්‍රඥාබලය ... ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය වීමංසාව විදර්‍ශනාව සම්‍යග්දෘෂ්ටිය ‘බෝධි’ යයි කියනු ලැබේ. බුදුහු ඒ බොධිඥානයෙන් ‘සියලු සංස්කාරයෝ අනිත්‍යහ’ යි දත්හ. ‘සියලු සංස්කාරයෝ දුක්හ’යි දත්හ. ‘සියලු ධර්‍මයෝ අනාත්ම හ’යි දත්හ. ...යම් කිසිවක් සමුදයධර්‍ම නම් එ හැම නැසෙන පියවි ඇතැ’යි දත්හ.
නොහොත් යම් කිසිවක් දතයුතු නම්, නැවත නැවත දතයුතු නම්, වෙසෙසින් දතයුතු නම්, මැනැවින් දතයුතු නම්, අධිගම කළයුතු නම්, නුවණින් ස්පර්‍ශ කළයුතු නම්, ප්‍රත්‍යක්‍ෂ කළයුතු නම් ඒ සියල්ල ඒ බෝධි ඥානයෙන් දත්හ. අනුබෝධ කළහ. ප්‍රතිබෝධ කළහ. වෙසෙසින් දත්හ, මැනැවින් දත්හ, ස්පර්‍ශ කළහ, ප්‍රත්‍යක්‍ෂ කළහ, මෙසෙයින් බුදුහු එකලා වැ අනුත්තර වූ සම්‍යක්සම්බෝධිය අභිසම්බුද්ධ කළාහු නුයි ‘එක’ නම් වූහ.