16. 2.
(බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය,) රූපනිමිතින් නැසෙනුවන් දැක (කුශල ධර්‍මයෙහි) ප්‍රමාද වූ ජනයෝ රූපනිමිතින් පෙළෙති. එහෙයින් පිඞ්ගිය, තෙපි (කුශල ධර්‍මයෙහි) අප්‍රමත්ත වැ පුනර්‍භවය නො වනු පිණිස රූපය දුරු කරව.
දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ- ‘රූපං’ යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද වෙති. සත්ත්‍වයෝ රූප හේතුයෙන් රූපප්‍රත්‍යයෙන් රූපකාරණයෙන් නැසෙති වැනැසෙති වෙසෙසින් නසනු ලැබෙත්. රූපය ඇති කල්හි නො එක් කම්කටොලු කරවති: කසයෙනුදු තළති, වේවැලිනිදු තළති, අඩදඬියේ (මුගුරි) නුදු තළති, අත් ද සිඳිති, පා ද සිඳිති, අත්පා ද සිඳිති, කනුදු සිඳිති,
නැහැය ද සිඳිති, කන්නාසා ද සිඳිති, කාඩිසැළි කම්කටොලු ද කෙරෙති, සක්මුඬු කම්කටොලු ද කෙරෙති, රාහුමුඛ කම්කටොලු ද කෙරෙති, ගිනි වළලු කම්කටොලු ද කෙරෙති, අත් දල්වන කම්කටොලු ද කෙරෙති, එරුවත් කම්කටොලු ද කෙරෙති, තිහිරිවත් කම්කටොලු ද කෙරෙති, එණෙය්‍යක කම්කටොලු ද කෙරෙති, බිලියෙන් මස් සිඳුණා කම් කටොලු ද කෙරෙති, කහාපණක කම්කටොලු කෙරෙති, කොස්සෙන් කාරම් ගල්වති, පරිඝපරිවර්තන කම්කටොලු ද කෙරෙති, පිදුරුපිටු කම්කටොලු ද කෙරෙති, කකාළ තෙල් ද ඉස්වති, ශුනකයන් (කීණ බල්ලන්) ලවා ද කවති, දිවස්හුල ද හිඳුවති. කඩුවෙනුදු හිස සිඳිත්. මෙසෙයින් සත්ත්‍වයෝ රූප හේතුයෙන් රූප ප්‍රත්‍යයෙන් රූප කාරණයෙන් නැසෙති වැනැසෙති නසනු ලැබෙති වනසනු ලැබෙත්. මෙසේ නැසෙනුවත් වැනැසෙනුවත් නසනු ලබනුවන් වෙසෙසින් නසනු ලබනුවන් දැක බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘දිස්වාන රූපෙසු විහඤ්ඤ මානෙ’ යනු වේ.
පිඞ්ගිය යනු: බුදුහු එ බමුණු නමින් අමතති. භගවා යනු: තෙල ගෞරව නාම යැ ... මේ ‘භගවා’ යනු: බෝමුල්හි අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියක් නුයි’ පිඞ්ගියා’ ති භගවා’ යනු වේ.
රුප්පන්ති රූපෙසු ජනා පමත්තා රුප්පන්ති යනු: නැසෙති කිපෙති පෙළෙති ගැටෙති පීඩිත වූවාහු හටගත් දොම්නස් ඇත්තාහු වෙත්. චක්‍ෂු රෝගයෙන් නැසෙති කිපෙති පෙළෙති ගැටෙති පීඩිත වූවාහු හටගත් දොම්නස් ඇත්තාහු වෙත්. ශ්‍රොත්‍රරොගයෙන්...කායරොගයෙන් මැසි-මදුරු-වා-අවු-දිග්දෑ පහසින් නැසෙති කිපෙති පෙළෙති ගැටෙති පීඩිත වූවාහු හටගත් දොම්නස් ඇත්තාහු වෙත් නුයි ‘රූප්පන්ති රූපෙසු’ යනු වේ. නොහොත් ඇස හෙන කල්හි පිරිහෙන කල්හි හාත්පසින් හෙන කල්හි නැසෙන කල්හි විගත වන කල්හි අතුරුදහන් වන කල්හි නැසෙති... චිත්තවිඝාතයට පැමිණියාහු වෙත්. කන-නැහැය-දිව-කය- රූපය- ශබ්දය-ගන්‍ධය-රසය-ස්ප්‍රෂ්ටව්‍යය- කුලය- ගණය- ආවාසය- ලාභය- යසස- ප්‍රශංසාව- සුඛය- සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර හෙන කල්හි පිරිහෙන කල්හි හාත්පසින් හෙන කල්හි නැසෙන කල්හි විගත වන කල්හි අතුරුදහන් වන කල්හි නැසෙති කිපෙති (පෙරැළෙති පෙළෙති ගැටෙති පීඩිත වූවාහු චිත්ත විඝාතයට පැමිණියාහු වෙත් නුයි මෙසේත් ‘රූප්පන්ති රූපෙසු’ යනු වේ. ජනා යනු: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යෙයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මිනිස්සු ද පමත්තා යි, ප්‍රමාදය කිය යුතු යි: කාය දුශ්චරිතයෙන් වේවයි වාග්දුශ්චරිතයෙන් වේවයි මනෝදුශ්චරිතයෙන් වේවයි පස්කම් ගුණයෙහි සිත බැස ගැන්ම බැස ගැන්මට අනුබල දීම, කුශල ධර්‍මයන්ගේ හෝ වැඩීම සකසා නො කරනබව, සතතයෙන් නො කරනබව, නො බැස ගත් ක්‍රියා ඇති බව, පසු බට පැවතුම් ඇති බව, බහා තුබූ කුශලච්ඡන්‍ද ඇති බව, බහා තැබූ වීර්‍ය්‍යධුර ඇති බව, ආසේවන නො කිරීම, අභාවනය, පුන පුනා නො කිරීම, අනධිෂ්ඨානය, අනනුයොගය, ප්‍රමාදය වෙයි. මෙ බඳු යම් ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙකි හටගත් ප්‍රමාද ඇති බවෙක් වේ ද මේ ප්‍රමාද යැ කියනු ලැබේ. මේ ප්‍රමාදයෙන් සමන්‍වාගත ජනයෝ ප්‍රමත්තයෝ නුයි ‘රූප්පන්ති රූපෙසු ජනා පමත්තා’ යනු වේ.