15. 4.
මෝඝරාජය, හැම කල්හි ස්මෘතිමත් වැ සත්කායදෘෂ්ටිය දුරැ කොට ලොව ශුන්‍ය හෙයින් බලව, මෙසෙයින් මෘත්‍යුහු ඉක්මවන්නෙහි, මෙසෙයින් ලොව බලන්නහු මෘත්‍යුරාජ තෙම නො දක්නේ යයි.
සුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු - ‘ලෝකෝ’ යනු: නිරය ලෝක යැ තිරශ්චීනලෝක යැ ප්‍රෙතවිෂයලෝක යැ මනුෂ්‍යලෝක යැ දේවලෝක යැ ස්කන්ධලෝක යැ ධාතුලෝක යැ ආයතනලෝක යැ මෙ ලොව යැ පර ලොව යැ දෙවියන් සහිත බඹලොව යි. “එක්තරා මහණෙක් භාග්‍යවතුන්ට මෙසේ කී යැ: ‘වහන්ස, ‘ලෝක යැ ලෝක යැ’යි. කියනු ලැබෙයි, වහන්ස, කිපමණෙකින් ලෝක ය’යි කියනු ලැබේ දැ යි. මහණ, (යම්හෙයෙකින්) බිඳේ ද එහෙයින් ‘ලෝක’ යි කියනු ලැබෙයි. කුමක් බිඳෙයි යත්: මහණ, චක්‍ෂුස බිඳෙයි රූපයෝ බිඳෙති චක්‍ෂුර්විඥානය බිඳෙයි, චක්ඛුසම්ඵස්සය බිඳෙයි චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වේවයි දුක්වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් උපදී නම් එ ද බිඳෙයි, ශ්‍රෝත්‍රය බිඳෙයි, ශබ්දයෝ බිඳෙති- ඝ්‍රාණය බිඳෙයි, ගන්‍ධයෝ බිඳෙති- ජිහ්වාව බිඳෙයි, රසයෝ බිඳෙති- කය බිඳෙයි, ස්පර්‍ශයෝ බිඳෙති- මනස බිඳෙයි, ධර්‍මයෝ බිඳෙති, මනෝවිඥානය බිඳෙයි, මනෝසම්ඵස්සය බිඳෙයි, මනෝසම්ඵස්ස ප්‍රත්‍යයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදයිතයෙක් උපදී නම් එ ද බිඳේ. මහණ, යම්හෙයෙකින් බිඳේ ද, එහෙයින් ‘ලෝක’යි කියනු ලැබේ” යයි.
සුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු යනු: දෙකරැණෙකින් ශුන්‍ය විසින් ලොව බලයි: නො වසඟ වැ පැවැති සංස්කාරයන් බැලීම් වශයෙන් හෝ තුච්ඡ සංස්කාරයන් පුනපුනා බැලීම් වශයෙන් හෝ යැ කිසෙයින් නො වසඟ වැ පැවැති සංස්කාරයන් බැලීම් වශයෙන් ශුන්‍ය විසින් ලොව බලයි යත්: රූපයෙහි ඉසුරු බැව් නො ලැබෙයි, වේදනායෙහි ඉසුරු බැව් නො ලැබෙයි, සංඥායෙහි ඉසුරු බැව් නො ලැබෙයි, සංස්කාරයන්හි ඉසුරු බැව් නො ලැබෙයි, විඥානයෙහි ඉසුරු බැව් නො ලැබේ. මේ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි රූපය අනාත්ම යැ ඉදින් මහණෙනි, යම් හෙයකින් මේ රූපය ආත්ම වී නම් මේ රූපය ආබාධ පිණිස නො පවත්නේ යැ. රූපයෙහි ‘මාගේ රූපය මෙසේ වේවා මාගේ රූපය නහමක් මෙසේ වේව’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයකින් රූපය අනාත්ම වෙයි ද එහෙයින් රූපය ආබාධ පිණිස පවත්නේ යැ රූපයෙහි ‘මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය නහමක් මෙසේ වේව’යි නො ද ලැබෙයි. වේදනාව අනාත්ම යැ මහණෙනි, ඉදින් මේ වේදනාව ආත්ම වී නම් මේ වේදනාව ආබාධයට නො වැටෙන්නේ යැ
වේදනායෙහි ‘මාගේ වේදනාව මෙසේ වේවා, මාගේ වේදනාව නහමක් මෙසේ වේව’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයෙකින් වේදනාව අනාත්ම වෙයි ද, එහෙයින් වේදනාව ආබාධයට වැටෙන්නේ යැ, වේදනායෙහි ‘මාගේ වේදනාව මෙසේ වේවා, මාගේ වේදනාව නහමක් මෙසේ වේව’යි නො ද ලැබෙයි. සංඥාව අනාත්ම යැ මහණෙනි, ඉදින් මේ සංඥාව ආත්ම වී නම් මේ සංඥාව ආබාධයට නො වැටෙන්නේ යැ සංඥායෙහි ‘මාගේ සංඥාව මෙසේ වේවා, මාගේ සංඥාව නහමක් මෙසේ වේවා’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයකින් සංඥාව අනාත්ම වෙයි ද එහෙයින් සංඥාව ආබාධයට වැටෙයි. සංඥායෙහි ‘මාගේ සංඥාව මෙසේ වේවා, මාගේ සංඥාව නහමක් මෙසේ වේව’යි නො ද ලැබෙයි. සංස්කාරයෝ අනාත්මයහ, මහණෙනි, ඉදින් මේ සංස්කාරයෝ ආත්ම වූ නම් මේ සංස්කාරයෝ ආබාධයට නො වැටෙන්නාහු යැ, සංස්කාරයන්හි ‘මාගේ සංස්කාරයෝ මෙසේ වෙත්වා, මාගේ සංස්කාරයෝ නහමක් මෙසේ වෙත්ව’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයෙකින් සංස්කාරයෝ අනාත්ම වෙත් ද, එහෙයින් සංස්කාරයෝ ආබාධයට වැටෙති. සංස්කාරයන්හි මාගේ සංස්කාරයෝ මෙසේ වෙත්වා, මාගේ සංස්කාරයෝ නහමක් මෙසේ වෙත්ව’යි නො ද ලැබෙයි. විඥානය අනාත්ම යැ මහණෙනි, ඉදින් මේ විඥානය ආත්ම වී නම් මේ විඥානය ආබාධයට නො වැටෙන්නේ ය, විඥානයෙහි ‘මාගේ විඥානය මෙසේ වේවා, මාගේ විඥානය නහමක් මෙසේ වේව’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයකින් විඥානය අනාත්ම වෙයි ද, එහෙයින් විඥානය ආබාධයට වැටෙයි. විඥානයෙහි (මාගේ විඥානය මෙසේ වේවා මාගේ විඥානය නහමක් මෙසේ වේව’යි නො ද ලැබේ.
කිසෙයින් ‘තුච්ඡසංඛාර සමනුපස්සනා’ වශයෙන් ශුන්‍ය විසින්, ලොව බලා ද යත්: රූපයෙහි (නිත්‍ය සාරාදි) සාරයෙක් නො ලැබෙයි, වේදනායෙහි සාරයෙක් නො ලැබෙයි, සංඥායෙහි සාරයෙක් නො ලැබෙයි, සංස්කාරයන්හි සාරයෙක් නො ලැබෙයි, විඥානයෙහි සාරයෙක් නො ලැබේ. රූපය නිත්‍යසාර සංඛ්‍යාත සාරයෙන් වේවයි සුඛසාර සංඛ්‍යාත සාරයෙන් වේවයි ආත්මසාර සංඛ්‍යාත සාරයෙන් වේවයි නිත්‍යහෙයින් වේවයි ධ්‍රැවහෙයින් වේවයි ශාශ්වත හෙයින් වේවයි අවිපරිණාම ස්වභාව හෙයින් වේවයි අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. වේදනාව-අසාර යැ, නිස්සාර යැ සාරාපගත යි. සංඥාව- අසාර යැ, නිස්සාර යැ සාරාපගත යි. සංස්කාරයෝ-අසාරයහ නිස්සාරයහ සාරාපගතයෝ යැ. විඥානය නිත්‍ය සාර සාරයෙන් වේවයි සුඛසාර සාරයෙන් වේවයි ආත්මසාර සාරයෙන් වේවයි නිත්‍යයෙන් වේවයි ධ්‍රැවයෙන් වේවයි ශාශ්වතයෙන් වේවයි අවිපරිණාම ස්වභාවයෙන් වේවයි අසාර යැ නිස්සාර යැ සාරාපගත යි.