15. මෝඝරාජ සූත්ර නිර්දෙශය
15. 1.
(ආයුෂ්මත් මෝඝරාජ මෙසේ විචාරයි:) මම් දෙවරක් ශාක්යමුනිහු විචාළෙමි. චක්ෂුර්මත්හු ප්රකාශ නො කළහ, දෙවර්ෂීහු තුන්වනවට දක්වා විචාරන ලද්දාහු ප්රකාශ කරන සේකැ යි මා විසින් අසන ලද.
ද්වාහං සක්කං අපුච්ඡිස්සං යනු: එ බමුණු දෙවරක් භාග්යවත් බුදුන් පැන පුළුවුත්. ඔහට බුදුහු පැන පුළුවුස්නා ලද්දාහු ‘එයට ඉක්බිති මෙ බමුණුහට ඉන්ද්රියපරිපාකය වන්නේ යැ’යි ප්රකාශ නො කළහ. සක්කො යනු බුදුහු ශාක්යයහ: ශාක්යකුලයෙන් නික්ම පැවිදි වූහ යි ද ශාක්යයහ, නොහොත් ආඪ්යයහ මහද්ධන ඇතියහ ධනවත්හ යි ද ශාක්යයහ. උන්වහන්සේට මේ ධනයෝ වෙති; හෙ මෙසේයි: ශ්රද්ධා ධන යැ ශීල ධන යැ හිරි ධන යැ ඔත්තප්ප ධන යැ ශ්රැත ධන යැ ත්යාග ධන යැ ප්රඥා ධන යැ සතිපට්ඨාන ධන යැ සම්යක්ප්රධාන ධන යැ ඍද්ධිපාද ධන යැ ඉන්ද්රිය ධන යැ බලධන යැ බෝධ්යඞ්ග ධන යැ මාර්ග ධන යැ ඵලධන යැ නිර්වාණධන යි. මේ අනේකවිධ ධනරත්නයන් ගෙන් ආඪ්යයහ, මහද්ධන ඇතියහ, ධනවත්හ යි ද ශාක්යයහ. නොහොත් ශාක්යයහ, ප්රභූහ පරසන්තානයෙහි වීර්ය්යය උපදවනුහ, සමර්ත්ථ සිත් ඇතියහ, ශූරයහ, පරාක්රම ඇතියහ, වික්රම ඇතියහ, නො බාන සුල්ලහ, නො සැලෙනුවහ, නො තැතිගනුවහ, නො පලායනසුල්ලභ, දුරු කළ බිය හා බිය අරමුණු ඇතියහ, පහවූ ලොමුදහ ඇතියහ නුයි ද ශාක්යයහ. ද්වාහං සක්කං අපුච්ඡිස්සං යනු: මම් දෙවරක් ශාක්යයන් වහන්සේ පුළුවුත්මි, අයැදියෙමි, අධ්යෙෂණ කෙළෙමි, පැහැද වීම් නුයි ‘ද්වාහං සක්කං අපුච්ඡිස්සං’ යනු වේ. ඉච්චායස්මා මොඝරාජා යනු:...
න මෙ ඛ්යාකාසි චක්ඛුමා- ‘න මෙ ඛ්යාකාසි’ යනු: මට නො පැවැසූහ නො වදාළහ නො දෙසූහ නො පැනවූහ නො පිහිටවූහ විවරණය නො කළහ විභාග නො කළහ පාළ නො කළහ ප්රකාශ නො කළහ. චක්ඛුමා යනු: බුදුහු පසැසින් චක්ෂුෂ්මත්හ: මසැසිනුදු චක්ෂුෂ්මත්හ, දිවැසිනුදු චක්ෂුෂ්මත්හ, පැනැසිනුදු චක්ෂුෂ්මත්හ, බුදු ඇසිනුදු චක්ෂුෂ්මත්හ, සමතැසිනුදු චක්ෂුෂ්මත්හ.
කිසෙයින් බුදුහු මසැසිනුදු චක්ෂුෂ්මත්හ යත්: භාග්යවතුන් වහන්සේගේ මසැස්හි පස්පැහැ දිස් වෙයි: නිල් පැහැ යැ රන්වන් පැහැ යැ රත් පැහැ යැ කළු පැහැ යැ සුදු පැහැ යැ යි. තවද බුදුන්ගේ අක්ෂිරොම වෙයි: යම් තැනෙකැ වැළිත් ඇස්ලොම් පිහිටියේ ද එතැන දියමෙරළිය මල් සුදුසු සුනිල් පිරිසිදු දැකුම්කලු නිල්පැහැ වෙයි. එ ඉක්බිති කිණිහිරිමල් සුදුසු සුකසාවන් රන්වන් පිරිසිදු දැකුම්කලු කසාවන් පැහැ වෙයි. බුදුන්ගේ දෙනෙතග රතිඳුගොව් සුදුසු සුරත් පිරිසුදු දැකුම්කලු රත්පැහැ වෙයි.
මැද රුක්පෙණෙල ඇට සුදුහු ඉතා කළු මොළොක් සිනිඳු පිරිසුදු දැකුම්කලු කළුපැහැ වෙයි. ඉනික්බිති දවහත්තරු සුදුසු ඉතා සුදු සිත පඬෙර පිරිසුදු දැකුම්කලු සුදු පුහු වේ. බුදුහු අත්බැව් ඇසුරු කළ පෙර පින්කමින් උපන් ඒ පියවි මසැසින් දහවල්හි දු රැයිදු හාත්පසින් යොදුනක් දකිති. යම් කලෙකැ චතුරඞ්ගසමන්වාගත අන්ධකාරය වේ ද: හිරු අස්තයට ගියේත් වේ ද, කෘෂ්ණපක්ෂයෙහි පොහොය ත් වේ ද, ගහන වූ වන ළැහැබක් වේ ද, මහ කළුවලාකුළු නැඟුණේත් වේ ද, මෙ බඳු වූ චතුරඞ්ගසමන්වාගත අන්ධකාරයෙහි පවා හාත්පසින් යොදුනක් දකිති. එහි ඒ බිත්තියක් හෝ කවුළුවක් හෝ පවුරක් හෝ ගලක් හෝ ගසක් හෝ වැලක් හෝ රූපදර්ශනයට ආවරණයෙක් නැති. ඉදින් එක් තලැටක් ලකුණු කොට තලගැලෙකැ බහාලන්නේ නම් ඒ තල ඇටය මැ නඟාගන්නා සේ ක. මෙසෙයින් බුදුන්ගේ පියවි මසැස පිරිසුදු වේ. මෙසෙයින් බුදුහු මසැසිනුදු චක්ෂුර්මත් වෙති.
කිසෙයින් බුදුහු දිවැසිනුදු චක්ෂුර්මත්හ යත්: බුදුහු විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටියා වූ ච්යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ප්රණීත වූ අභිරූප වූ විරූප වූ සුගතියට ගියා වූ දුගතියට ගියා වූ සත්ත්වයන් දකිති. යභභ, මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනො දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්ය්යයනට උපවාද කළාහු මිත්ථ්යාදෘෂ්ටි ඇත්තාහු මිත්ථ්යාදෘෂ්ටි වශයෙන් සමාදන් වූ විවිධ කර්ම ඇත්තාහු ය. ඔහු කය බිඳීමෙන් මරණින් මත්තෙහි අය රහිත වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට පැමිණියාහු ය. යළි මේ භවත් සත්ත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහු වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්ය්යයනට උපවාද නො කළාහු සම්යග්දෘෂ්ටි ඇත්තාහු සම්යග්දෘෂ්ටි වශයෙන් සමාදන් වූ කර්ම ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මත්තෙහි සුන්දරගති ඇති සැපයෙන් අග්ර වූ ලෝකයට පැමිණියාහ යි කම් වූ පරිද්දෙන් පැමිණි සත්ත්වයන් දන්නා සේක. මෙසෙයින් විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවැසින් ච්යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ප්රණීත වූ අභිරූප වූ විරූප වූ සුගතියට ගියා වූ දුගතියට ගියා වූ සත්ත්වයන් දකිති. කම් වූ පරිදි (පරලොව) පැමිණි සත්ත්වයන් දන්නා සේක. තවද බුදුහු කැමැති වන්නාහු නම් එක් ලෝකධාතුවකුදු බලන සේක. ලෝකධාතු දෙකක් ද තුන් ලෝකධාතුවකුදු - සතර ලෝකධාතුවකුදු - පස් ලෝකධාතුවකුදු බලන සේක. දස ලෝකධාතුවකුදු - විසි ලෝකධාතුවකුදු - තිස් ලෝකධාතුවකුදු - සතලිස් ලෝකධාතුවකුදු - පනස් ලෝකධාතුවකුදු - සියක් ලොකධාතුහු ද බලන සේක. සහස්රීචූලනීලොකධාතුව ද බලන සේක. ද්විසහස්රී මධ්යම ලෝකධාතුව ද බලන සේක. ත්රිසහස්රී මහා සහස්රී ලෝකධාතුව ද බලන සේක. තවද යම් පමණ කැමැති වන සේක් නම් එ පමණ බලන සේක. බුදුන්ගේ දිවැස මෙසෙයින් පිරිසුදු වේ. මෙසෙයින් බුදුහු දිවැසිනුදු චක්ෂුර්මත් වෙති.