15. 3.
මෙසේ පරමදර්ශී වූ සර්‍වඥයන් කරා පැන පුළුවුස්නෙන් අර්ත්‍ථී වැ ආයෙමි. ලොවැ කිසෙයින් බලන්නහු මෘත්‍යුරාජ තෙමේ නො දකී ද?
එවං අභික්කන්තදස්සාවිං යනු: මෙසෙයින් විශිෂ්ට දර්‍ශන ඇතියහු අග්‍රදර්ශන ඇතියහු ශ්‍රේෂ්ඨ දර්‍ශන ඇතියහු අතිශයින් ශ්‍රේෂ්ඨ දර්‍ශන ඇතියහු උත්තමදර්ශන ඇතියහු පරමදර්ශන ඇතියහු නුයි ‘එවං අභික්කන්තදස්සාවිං’ යනු වේ.
අත්‍ථි පඤ්හෙන ආගමං යනු: පැන පුළුවුස්නෙන අර්‍ත්‍ථ ඇතියමෝ ආම්හ ... තෙල බර උසුලනු මැනැවැ’යි මෙසේත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ.
කථං ලෝකං අවෙක්‍ඛන්තං යනු: කිසෙයින් ලොව බලන්නහු ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහු තුලනය කරන්නහු තීරණය කරන්නහු විභාවන කරන්නහු ප්‍රකට කරන්නහු නුයි ‘කථං ලෝකං අවෙක්‍ඛන්තං’ යනු වේ.
මච්චුරාජා න පස්සති යනු: මෘත්‍යුරාජයා නො දකී ද නො දක්නේ ද නො පැමිණේ ද නො ලබා ද ප්‍රතිලාභ නො කෙරේ දැ’ යි ‘මච්චුරාජා න පස්සති’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“එවං අභික්කන්තදස්සාවිං -පෙ- මච්චුරාජා න පස්සති” යි.
15. 4.
මෝඝරාජය, හැම කල්හි ස්මෘතිමත් වැ සත්කායදෘෂ්ටිය දුරැ කොට ලොව ශුන්‍ය හෙයින් බලව, මෙසෙයින් මෘත්‍යුහු ඉක්මවන්නෙහි, මෙසෙයින් ලොව බලන්නහු මෘත්‍යුරාජ තෙම නො දක්නේ යයි.
සුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු - ‘ලෝකෝ’ යනු: නිරය ලෝක යැ තිරශ්චීනලෝක යැ ප්‍රෙතවිෂයලෝක යැ මනුෂ්‍යලෝක යැ දේවලෝක යැ ස්කන්ධලෝක යැ ධාතුලෝක යැ ආයතනලෝක යැ මෙ ලොව යැ පර ලොව යැ දෙවියන් සහිත බඹලොව යි. “එක්තරා මහණෙක් භාග්‍යවතුන්ට මෙසේ කී යැ: ‘වහන්ස, ‘ලෝක යැ ලෝක යැ’යි. කියනු ලැබෙයි, වහන්ස, කිපමණෙකින් ලෝක ය’යි කියනු ලැබේ දැ යි. මහණ, (යම්හෙයෙකින්) බිඳේ ද එහෙයින් ‘ලෝක’ යි කියනු ලැබෙයි. කුමක් බිඳෙයි යත්: මහණ, චක්‍ෂුස බිඳෙයි රූපයෝ බිඳෙති චක්‍ෂුර්විඥානය බිඳෙයි, චක්ඛුසම්ඵස්සය බිඳෙයි චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වේවයි දුක්වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් උපදී නම් එ ද බිඳෙයි, ශ්‍රෝත්‍රය බිඳෙයි, ශබ්දයෝ බිඳෙති- ඝ්‍රාණය බිඳෙයි, ගන්‍ධයෝ බිඳෙති- ජිහ්වාව බිඳෙයි, රසයෝ බිඳෙති- කය බිඳෙයි, ස්පර්‍ශයෝ බිඳෙති- මනස බිඳෙයි, ධර්‍මයෝ බිඳෙති, මනෝවිඥානය බිඳෙයි, මනෝසම්ඵස්සය බිඳෙයි, මනෝසම්ඵස්ස ප්‍රත්‍යයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදයිතයෙක් උපදී නම් එ ද බිඳේ. මහණ, යම්හෙයෙකින් බිඳේ ද, එහෙයින් ‘ලෝක’යි කියනු ලැබේ” යයි.
සුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු යනු: දෙකරැණෙකින් ශුන්‍ය විසින් ලොව බලයි: නො වසඟ වැ පැවැති සංස්කාරයන් බැලීම් වශයෙන් හෝ තුච්ඡ සංස්කාරයන් පුනපුනා බැලීම් වශයෙන් හෝ යැ කිසෙයින් නො වසඟ වැ පැවැති සංස්කාරයන් බැලීම් වශයෙන් ශුන්‍ය විසින් ලොව බලයි යත්: රූපයෙහි ඉසුරු බැව් නො ලැබෙයි, වේදනායෙහි ඉසුරු බැව් නො ලැබෙයි, සංඥායෙහි ඉසුරු බැව් නො ලැබෙයි, සංස්කාරයන්හි ඉසුරු බැව් නො ලැබෙයි, විඥානයෙහි ඉසුරු බැව් නො ලැබේ. මේ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි රූපය අනාත්ම යැ ඉදින් මහණෙනි, යම් හෙයකින් මේ රූපය ආත්ම වී නම් මේ රූපය ආබාධ පිණිස නො පවත්නේ යැ. රූපයෙහි ‘මාගේ රූපය මෙසේ වේවා මාගේ රූපය නහමක් මෙසේ වේව’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයකින් රූපය අනාත්ම වෙයි ද එහෙයින් රූපය ආබාධ පිණිස පවත්නේ යැ රූපයෙහි ‘මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය නහමක් මෙසේ වේව’යි නො ද ලැබෙයි. වේදනාව අනාත්ම යැ මහණෙනි, ඉදින් මේ වේදනාව ආත්ම වී නම් මේ වේදනාව ආබාධයට නො වැටෙන්නේ යැ