14. 3.
(බුදුහු මෙසේ වදාළහ: පොසාලය,) හැම විඥානස්ථිතීන් වෙසෙසින් දන්නා වූ තථාගත තෙමේ ආකිඤ්චඤ්ඤායතනයෙහි අධිමුක්ත වූ එය පරායණ කොට ඇති වැ සිටුනා මේ පුඟුලා දනී.
විඤ්ඤාණට්ඨිතියො සබ්බා යනු: බුදුහු කර්මාභිසංස්කාරයන් ගේ වශයෙන් සතර විඥාන ස්ථිතීන් දන්නා සේක. ප්‍රතිසන්‍ධි වශයෙන් සප්ත විඥානස්ථිතීන් දන්නා සේක.
කිසෙයින් බුදුහු අභිසංස්කාර වශයෙන් සතර විඥානස්ථිතීන් දන්නා සේක් ද යත්: මේ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, (තෘෂ්ණා- දෘෂ්ටි උපය විසින්) රූපයට පැමිණි හෝ රූපය අරමුණු කොට ඇතියේ රූපය ප්‍රතිෂ්ඨා කොට ඇතියේ සිටී. (සප්‍රීතික) තෘෂ්ණා ජලයෙන් තෙමනලදුයේ වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙයි, මහණෙනි, (තෘෂ්ණා- දෘෂ්ටි විසින්) වේදනාවට පැමිණි හෝ ... මහණෙනි, සංඥාවට පැමිණි හෝ ... මහණෙනි, සංස්කාරයන්ට පැමිණි හෝ විඥානය සිටුනේ සංස්කාරයන් අරමුණු කොට ඇති යේ සංස්කාරයන් ප්‍රතිෂ්ඨා කොට ඇතියේ සිටියි. තෘෂ්ණොදකයෙන් තෙමන ලදුයේ වෘද්ධියට විරූඪබවට විපුල බවට පැමිණේ යයි මෙසේ බුදුහු අභිසංස්කාර වශයෙන් සතර විඥානස්ථිතීන් දන්නා සේක.
කිසෙයින් බුදුහු ප්‍රතිසන්‍ධි වශයෙන් සප්තවිඥානස්ථිතීන් දන්නා සේක් ද යත්: භාග්‍යවතුන් විසින් මෙය වදාරන ලද මැ යි. “මහණෙනි, මිනිසුන් ද ඇතැම් දෙවියන් ද ඇතැම් විනිපාතිකයන් ද සෙයින් (වර්‍ණ සංස්ථානාදි විසින්) නානාත්‍වකාය ඇති නානාත්‍ව වූ ප්‍රතිසන්‍ධි සංඥා ඇති සත්ත්‍වයෝ ඇත්තාහ” මේ පළමු වන විඥානස්ථිතිය යැ. මහණෙනි, ප්‍රථමධ්‍යානයෙන් උපන් (බ්‍රහ්මපාරිසජ්ජාදි වූ) බ්‍රහ්මකායික දෙවියන් සෙයින් නානාත්‍වකාය වූ එකත්‍වසංඥා ඇති සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ දෙ වැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, ආභාස්වර දෙවියන් සෙයින් ඒකත්‍වකාය ඇති නානාත්‍වසංඥා ඇති සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ තුන් වැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, ශුභකෘත්ස්න දෙවියන් සෙයින් ඒකත්‍වකාය වූ ඒකත්‍ව සංඥා ඇති සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ සතර වැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥා ඉක්ම වීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන් ගේ අමනසිකාරයෙන් ‘ආකාශය අනන්තය’ යි ආකාසානඤ්චායතනයට පැමිණි සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ පස් වැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්තය’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ. මේ සවැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ සත් වැනි විඥානස්ථිතිය යි. මෙසෙයින් බුදුහු ප්‍රතිසන්‍ධි විසින් සප්තවිඥානස්ථිතීන් දන්නාසේක් නුයි ‘විඤ්ඤාණට්ඨිතියො සබ්බා’ යනු වේ. පොසාලා’ ති භගවා යනු...
අභිජානං තථාගතො- ‘අභිජානං’ යනු: වෙසෙසින් දන්නේ එකතින් දන්නේ නොයෙක් අයුරින් දන්නේ ඒ ඒ කරුණු පිණිස දන්නේ ප්‍රතිවේධ කරනුයේ. තථාගතො යනු: භාග්‍යවතුන් විසින් මෙය වදාරණ ලද මැ යි: “චුන්දය, අතීත වූ ද අභූත වූ අතථ්‍ය වූ අනර්‍ත්‍ථසංහිතයෙක් වී නම් තෙල තථාගතයෝ ප්‍රකාශ නො කෙරෙති. චුන්දය, අතීත වූ ද භූත වූ තථ්‍ය වූ අනර්‍ත්‍ථසංහිතයෙක් වී නම් එ ද තථාගතයෝ ප්‍රකාශ නො කෙරෙති. චුන්දය, අතීත වූ ද භූත වූ තථ්‍ය වූ අර්‍ත්‍ථසංහිතයෙක් වී නම් එහි ලා තථාගතයෝ එ මැ ප්‍රශ්නය ප්‍රකාශ කිරීම පිණිස කල් දන්නාහු වෙති. චුන්දය, අනාගත වූ ද ... චුන්දය වර්‍තමාන වූ ද අභූත වූ අතථ්‍ය වූ අනර්‍ත්‍ථසංහිතයෙක් වී නම් එය තථාගතයෝ ප්‍රකාශ නො කෙරෙති. චුන්දය, ප්‍රත්‍යුත්පන්න වූ ද භූත වූ තථ්‍ය වූ අනර්‍ත්‍ථ සංහිතයෙක් වී නම් එ ද තථාගතයෝ ප්‍රකාශ නො කෙරෙති. චුන්දය, ප්‍රත්‍යුත්පන්න වූ ද භූත වූ තථ්‍ය වූ අර්ත්ථසංහිතයෙක් වී නම් එහි ලා තථාගතයෝ ඒ ප්‍රශ්නය ප්‍රකාශ කිරීම පිණිස කල් දන්නාහු වෙත්. චුන්දය, මෙසෙයින් තථාගතයෝ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න ධර්‍මයන්හි කාලවාදී භූතවාදී අර්ත්ථවාදී ධර්‍මවාදී විනයවාදී වෙත්. එහෙයින් ‘තථාගත’ යි කියනු ලැබෙති.