14. පෝසාල සූත්‍ර නිර්‍දෙශය
14. 1.
(ආයුෂ්මත් පෝසාල මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ සිඳුනා ලද සැක ඇති යම් සර්‍වඥ කෙනෙක් ස්වකීය වූ ද පරකීය වූ ද අතීතය (පූර්වෙනිවාසානුස්මෘතිඥානයෙන්) ප්‍රකාශ කෙරෙත් ද, සියලු ධර්‍මයන් ගේ පරතෙරට ගිය ඒ සර්‍වඥයන් කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථී වැ ආයෙමි.
යො අතීතං ආදිසති- ‘යො’ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ස්වයම්භූ වූවාහු (තමනට) ආචාර්‍ය්‍යයන් නැත්තාහු පෙර නොඇසූ සිව්සස් දහම්හි සත්‍යයන් තුමූ අවබෝධ කළසේක් ද එහිදු සර්‍වඥභාවයට පැමිණියාහු බලධර්‍මයන්හි දු වශීභාවයට පැමිණියාහු වෙත් ද උන්වහන්සේ යැ. අතීතං ආදියති යනු: බුදුහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතයත් වදාරති අනාගතයත් වදාරති වර්තමානයත් වදාරත්. කිසෙයින් බුදුහු තමන්ගේ අතීතය වදාරත්ද යත්: බුදුහු තමන්ගේ අතීතය එක් ජාතියකුදු වදාරති ජාති දෙකකුදු වදාරති ජාති තුනකුදු වදාරති ජාති සතරකුදු වදාරති ජාති පසකුදු වදාරති ජාති දසයකුදු- ජාති විස්සකුදු- ජාති තිසකුදු- ජාති සතලිසකුදු- ජාති පසනකුදු- ජාති සියයකුදු- ජාති දහසකුදු- ජාති සුවහසකුදු- නො එක් සංවර්ත්තකල්පයනුදු- නො එක් විවර්ත්තකල්පයනුදු- නො එක් සංවර්ත්තවිවර්ත්තකල්පයනුදු වදාරති: අසෝ තැන මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු පැහැ සටහන් ඇතියෙම් මෙ බඳු ආහාර ඇතියෙම් මෙ බඳු සුවදුක් විඳුනා සුලු වූයෙම් මෙබඳු ආයුඃපර්යන්ත ඇතියෙම් වීමි, ඒ මම් එතැනින් ච්‍යුත වැ අසෝ තැන උපන්මි, එහිදු මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු පැහැසටහන් ඇතියෙම් මෙබඳු ආහාර ඇතියෙම් මෙබඳු සුවදුක් විඳුනා සුලු වූයෙම් මෙබඳු ආයුඃපර්‍ය්‍යන්ත ඇතියෙම් වීමි, ඒ මම් එතැනින් ච්‍යුත වැ මෙහි උපන්මි. මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ වූ පූර්වේනිවාසය වදාරති. මෙසෙයින් බුදුහු තමන් වහන්සේ ගේ අතීතය වදාරත්.
කිසෙයින් බුදුහු මෙරමා ගේ අතීතය වදාරති යැ යත්: බුදුහු මෙරමා ගේ අතීතය එක් ජාතියකුදු වදාරති ජාති දෙකකුදු වදාරති... නො එක් සංවර්‍ත විවර්‍තකල්පයනුදු වදාරති: අසෝ තැන මෙබඳු නම් ඇතියේ මෙබඳු ගෝත්‍ර ඇතියේ මෙබඳු පැහැසටහන් ඇතියේ මෙබඳු ආහාර ඇතියේ මෙබඳු සුවදුක් විඳුනේ මෙබඳු ආයුඃපර්‍ය්‍යන්ත ඇතියේ විය. හේ එතැනින් ච්‍යුත වැ අසෝ තැන උපන, එහිදු මෙබඳු නම් ඇත්තේ මෙබඳු ගෝත්‍ර ඇත්තේ මෙබඳු පැහැසටහන් ඇත්තේ මෙබඳු ආහාර ඇත්තේ මෙබඳු සුවදුක් විඳුනේ මෙබඳු ආයුඃ පර්‍ය්‍යන්ත ඇත්තේ විය. හේ එයින් ච්‍යුත වැ මෙහි උපනැ’යි මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ වූ පූර්වේනිවාසය වදාරති. මෙසෙයින් බුදුහු මෙරමාගේ අතීතය වදාරත්.
බුදුහු පන්සියක් ජාතකයෙන් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරති. “මහාපදානිය” සුතත් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරති, ‘මහාසුදස්සනිය’ සුතත් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරති, ‘මහාගොවින්දිය’ සුතත් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරති, ‘මාඝදෙවිය’ සුතත් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරත්. මේ වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්:
“චුන්‍දයෙනි, අතීත කාලය අරභයා තථාගතයන්ට සති-අනුසාරී ඥානය වෙයි, හේ යම් තාක් කැමති වේ නම් ඒ තාක් සිහි කෙරෙයි චුන්‍දයෙනි, අනාගතයත් ... චුන්‍දයෙනි, ප්‍රත්‍යුත්පන්න කාලයත් අරභයා තථාගතයනට බෝධියෙන් උපන් ඥානය උපදී: ‘මේ අන්තිම ජාතිය වෙයි දැන් පුනර්‍භවයෙක් නැතැ’යි. ඉන්‍ද්‍රියපරාවරතාඥානය තථාගතයන් ගේ තථාගතබල වෙයි, සත්ත්‍වයන්ගේ ආශය අනුශය දන්නා නුවණ තථාගතයන් ගේ තථාගත බල වෙයි, යමක ප්‍රාතිහාර්‍ය්‍යඥානය තථාගතයන් ගේ තථාගතබල වෙයි, මහාකරුණා සමාපත්තිඥානය තථාගතයන් ගේ තථාගතබල වෙයි, අනාවරණඥානය තථාගතයන් ගේ තථාගතබල වෙයි, (අතීතාදි) සියලු තැන්හි නො ඇලුණු අප්‍රතිහත වූ අනාවරණඥානය තථාගතයන් ගේ තථාගතබල වේ. මෙසෙයින් බුදුහු තමන් වහන්සේ ගේ ද මෙරමාගේ ද අතීතයත් දක්වනසේක, අනාගතයත් දක්වනසේක, ප්‍රත්‍යුත්පන්නයත් දක්වන සේක වදාරන සේක දෙසනසේක පනවනසේක සිහිටුවන සේක විවරණ කරනසේක විභාග කරන සේක ප්‍රකට කරන සේක ප්‍රකාශ කරනසේක් නුයි “යො අතීතං ආදිසති” යනු වේ. ඉච්චායස්මා පොසාලො...
අනෙජො ඡින්නසංසයො- ‘එජා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් අධික රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ඒ එජා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව භාග්‍යවත් බුදුන් ට ප්‍රහීණ යැ උසුන්මුල් ඇත්තී යැ-(මුදුන් සුන්) තාලවස්තුවක් මෙන් කරන ලද, අනු අභාවය කරන ලද මත්තෙහි නූපදනා පියවි ඇත්තීයැ එහෙයින් බුදුහු “අනෙජයහ”, එජා ප්‍රහීණ වන බැවින් අනේජයහ. බුදුහු ලාභයෙහිදු නො සැලෙති ...දුකෙහි දු කම්පා නො වෙති නො සැලෙති නො වෙවුළති වෙසෙසින් නො වෙවුළති අතිශයින් නො වෙවුළත් නුයි ‘අනෙජො’ යනු වේ. ඡින්නසංසයො යනු: ‘සංසයො’ යි විචිකිත්සාව කියනු ලැබෙයි. දුඃඛසත්‍යයෙහි සැකය ... චිත්තයාගේ තදබව මනෝවිලේඛය යි. ඒ සැකය භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණ යැ සිඳින ලද වෙසෙසින් සිඳින ලද මොනොවට සිඳින ලද සන්හිඳිණ දුරලන ලද බැහැර කරන ලද උපතට නො නිසි වූයේ යැ නුවණ ගින්නෙන් දවන ලද. එහෙයින් බුදුහු සිඳුනා ලද සැක ඇත්තාහු නුයි “අනෙජො ඡින්නසංසයො” යනු වේ.