14. 2.
ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, ඉක්මවන ලද රූපසංඥා ඇති තදඞ්ග විෂ්කම්භන විසින් සියලු රූපකාය ප්‍රහාණය කරනසුලු වූ අධ්‍යාත්මයෙහිදු බාහ්‍යයෙහිදු කිසිවක් නැතැ යි දක්න හු (ආකිඤ්චඤ්ඤායතනලාභීහු) ගේ ඥානය පුළුවුස්මි. එබඳු වූ පුද්ගල තෙම කිසෙයින් (මත්තෙහි ඥානයට) පැමිණවිය යුත්තේ ද?
විභූතරූපසඤ්ඤිස්ස යනු: රූපසංඥා කවරැ යත් රූපාවචර සමවත් සමවන්නහුගේ වේවයි (විපාක විසින්) එහි උපන්නහු ගේ වේවයි ඉහාත්මසුඛ විහරණ ඇත්තහු ගේ වේවයි සංඥාවක් හඳුනන අයුරෙක් හැඳින ගත් බවෙක් වේ ද මේ රූපසංඥා යි. විභූතරූපසඤ්ඤිස්ස යනු: සතර අරූපසමාපත්තීන් ලද්දහුට රූපසංඥාවෝ අප්‍රකට වූවාහු නැසුණාහු ඉක්මුණාහු මොනොවට ඉක්මුණාහු වෙසෙසින් ඉක්ම සිටියාහු වෙත් නුයි ‘විභූතරූපසඤ්ඤිස්ස’ යනු වේ.
සබ්බකායප්පහායිනො යනු: ඒ අරූපසමාපත්ති ලාභීහු ගේ ප්‍රතිසන්‍ධි ඇති හැම රූප කය තදඞ්ග සමතික්‍රමණයෙන් ප්‍රහීණ යැ ඔහුගේ රූප කය විෂ්කම්භන ප්‍රහාණයෙන් ප්‍රහීණ නුයි ‘සබ්බකායප්පහායිනො’ යනු වේ.
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච නත්‍ථි කිඤ්චී ති පස්සතෝ- ‘නත්‍ථි කිඤ්චි’ යනු: ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති යැ. කවර කරුණින් ‘නත්‍ථි කිඤ්චි’ යනු ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති වේ ද යත්: යම් විඤ්ඤාණඤ්චායතන සමාපත්තියකට සිහි ඇති වැ සමවැද එයින් නැඟී එ මැ විඥානය අභාවයට පමුණුවයි ද වෙසෙසින් අභාවයට පමුණුවයි ද අතුරුදහන් කෙරෙයි ද ‘කිසිවක් නැතැ’යි දකී ද එකරුණින් ‘නත්‍ථි කිඤ්චි’ යි ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති වේ නුයි ‘අජ්ඣත්තඤ්ච බහිද්ධා ච නත්‍ථි කිඤ්චීති පස්සතෝ’ යනු වේ.
ඤාණං සක්කානුපුච්ඡාමි- ‘සක්ක’ යනු: බුදුහු ශාක්‍යයහ: ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූවාහු නුයි ද ශාක්‍යයහ ... ප්‍රහීණ වූ බිය හා බිය අරමුණු ඇත්තාහු පහවූ ලොමුදහ ඇත්තාහු නුයි ද ශාක්‍යයහ. ඤාණං සක්කානුපුච්ඡාමි- ඔහුගේ ඥානය කෙබඳු වූයේ කවර සටහන් ඇතියේ කවර ප්‍රකාර වූයේ කුමක් හා සමාන වූයේ කැමැති වියයුතු දැ යි පුළුවුස්මි නුයි ‘ඤාණං සක්කානුපුච්ඡාමි’ යනු වේ.
කථං නෙය්‍යො තථාවිධො- හෙතෙම කිසෙයින් (නිවනට) පැමිණ විය යුත්තේ ද විනයනය කළ යුත්තේ ද (සැක සිඳීමෙන්) අනුනයනය කළ යුත්තේ ද පැනවිය යුත්තේ ද නිශ්චය කරවිය යුත්තේ ද දැක්විය යුත්තේ ද පැහැදවිය යුත්තේ ද කිසෙයින් ඔහු විසින් මත්තෙහි ඥානය ඉපැදවිය යුතුද. තථා විධො යනු: යමෙක් ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති ලාභී වූයේ ද එබඳු වූයේ තාදෘශ වූයේ එබඳු සටහන් ඇතියේ එබඳු ප්‍රකාර ඇතියේ තත්ප්‍රතිභාග වූයේ නු යි ‘කථං නෙය්‍යො තථාවිධො’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“විභූතරූපසඤ්ඤිස්ස -පෙ- කථං නෙය්‍යො තථාවිධො” යි.
14. 3.
(බුදුහු මෙසේ වදාළහ: පොසාලය,) හැම විඥානස්ථිතීන් වෙසෙසින් දන්නා වූ තථාගත තෙමේ ආකිඤ්චඤ්ඤායතනයෙහි අධිමුක්ත වූ එය පරායණ කොට ඇති වැ සිටුනා මේ පුඟුලා දනී.
විඤ්ඤාණට්ඨිතියො සබ්බා යනු: බුදුහු කර්මාභිසංස්කාරයන් ගේ වශයෙන් සතර විඥාන ස්ථිතීන් දන්නා සේක. ප්‍රතිසන්‍ධි වශයෙන් සප්ත විඥානස්ථිතීන් දන්නා සේක.
කිසෙයින් බුදුහු අභිසංස්කාර වශයෙන් සතර විඥානස්ථිතීන් දන්නා සේක් ද යත්: මේ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, (තෘෂ්ණා- දෘෂ්ටි උපය විසින්) රූපයට පැමිණි හෝ රූපය අරමුණු කොට ඇතියේ රූපය ප්‍රතිෂ්ඨා කොට ඇතියේ සිටී. (සප්‍රීතික) තෘෂ්ණා ජලයෙන් තෙමනලදුයේ වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙයි, මහණෙනි, (තෘෂ්ණා- දෘෂ්ටි විසින්) වේදනාවට පැමිණි හෝ ... මහණෙනි, සංඥාවට පැමිණි හෝ ... මහණෙනි, සංස්කාරයන්ට පැමිණි හෝ විඥානය සිටුනේ සංස්කාරයන් අරමුණු කොට ඇති යේ සංස්කාරයන් ප්‍රතිෂ්ඨා කොට ඇතියේ සිටියි. තෘෂ්ණොදකයෙන් තෙමන ලදුයේ වෘද්ධියට විරූඪබවට විපුල බවට පැමිණේ යයි මෙසේ බුදුහු අභිසංස්කාර වශයෙන් සතර විඥානස්ථිතීන් දන්නා සේක.