12. 3.
(බුදුහු මෙසේ වදාළහ: භද්‍රාවුධය,) අතීතානාගතවර්‍තමානයෙහි වූ හැම ආදානතෘෂ්ණාව (තෘෂ්ණොපාදානය) දුරු කරවු, යම් හෙයකින් ලොවැ (අතීතරූපාදි) යම් යම් වස්තුවක් දැඩි කොට ගනිත් ද එහෙයින් මැ ස්කන්‍ධමාර තෙම සත්ත්‍වයා අනු වැ යේ.
ආදානතණ්හං විනයෙථ සබ්බං - ‘ආදානතණ්හා’ යි රූපතෘෂ්ණාව කියනු ලැබෙයි .. ආදාන තණ්හා - යි කවර කරුණෙකින් ‘ආදානතණ්හා’ යි කියනු ලැබේ ද යත්: ඒ තෘෂ්ණායෙන් රූපය ආදානය කෙරෙති උපාදානය කෙරෙති ගනිති පරාමර්‍ශය කෙරෙති අභිනිවේශය කෙරෙත්. වේදනාව- සංඥාව- සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය - ප්‍රතිසන්‍ධිය - භවය - සංසාරය වර්‍තය ආදානය උපාදානය ග්‍රහණය පරාමර්‍ශය අභිනිවේශය කෙරෙත්. එ කරුණෙන් ‘ආදානතණ්හා’ යි කියනු ලැබේ. විනයෙථ සබ්බං - සියලු ආදානතෘෂ්ණාව හරනේ යැ වෙසෙසින් හරනේ යැ දුරු කරන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනු අභාවයට පමුණු වන්නේ නුයි ‘ආදානතණ්හං විනයෙථ සබ්බං’ යනු වේ. භද්‍රාවුධා’ ති භගවා......
උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ- ‘උද්ධං’ යි අනාගතය කියනු ලැබෙයි, අධෝ යි අතීතය කියනු ලැබෙයි, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු වර්තමානය යි. උද්ධං යනු දේවලෝක යැ, අධෝ යනු නිරයලෝක යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු මනුෂ්‍යලෝක යි. උද්ධං යනු කුශලධර්‍මයෝ යැ, අධෝ යනු අකුශලධර්‍මයෝ යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු අව්‍යාකෘත ධර්‍මයෝ යි. උද්ධං යනු සුඛවේදනා යැ, අධෝ යනු දුඃඛවේදනා යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු උපෙක්ෂා වේදනා යි. උද්ධං යනු අරූපධාතු යැ, අධෝ යනු කාමධාතු යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු රූපධාතු යි. උද්ධං යනු පාදතලයෙන් උඩ යැ, අධෝ යනු කේශමස්තකයෙන් යට යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු වෙමධ්‍යයෙහි නුයි ‘උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු වේ.
යං යං හි ලෝකස්මිං උපාදියන්ති- යම් යම් රූපගතයක් වෙදනාගතයක් සංඥාගතයක් සංස්කාරගතයක් විඥානගතයක් ආදානය උපාදානය ග්‍රහණය පරාමර්‍ශය අභිනිවෙෂය කෙරෙත් ද, ලෝකස්මිං යනු: අපායලෝකයෙහි ... ආයතනලෝකයෙහි නුයි ‘යං යං හි ලෝකස්මිං උපාදියන්ති’ යනු වේ.
තෙනෙව මාරො අන්වෙති ජන්තුං- එ මැ (උපාදාන ප්‍රත්‍යයෙන් උපන්) කර්මාභිසංස්කාරයන්ගේ වශයෙන් ප්‍රතිසන්ධික වූ ස්කන්ධමාර ධාතුමාර ආයතනමාර ගතිමාර උපපත්තිමාර ප්‍රතිසන්ධිමාර භවමාර සංසාරමාර වෘත්තමාර තෙමේ අනු වැ යෙයි අනුගමනය කෙරෙයි අනු වැ යන්නේ වේ. ජන්තු යනු: සත්ත්‍ව- නර- මාණව- පුරුෂ- පුද්ගල- ජීව- ජාගු- ජන්තු- ඉන්දගු- (හින්දගු) මනුජයා නුයි ‘තෙනෙව මාරො අන්වෙති ජන්තුං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ආදානතණ්හං -පෙ- තෙනෙව මාරො අන්වෙති ජන්තුං” යි.
12. 4.
එහෙයින් ස්මෘතිමත් වූ (සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන්) දන්නා වූ මහණ තෙම මේ ප්‍රජාව මෘත්‍යුධෙයයෙහි ඇලිනැ’යි දක්මින් (රූපාදි) ආදානයෙහි ඇලුණු සියලු ලොවැ (රූපාදි) කිසිවක් නො ගන්නේ යැ’ යි.
තස්මා පජානං න උපාදියෙථ- ‘තස්මා’ යනු: එහෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් ආදානතෘෂ්ණාව පිළිබඳ වූ තෙල ආදීනවය දක්නේ නුයි ‘තස්මා’ යනු වේ. පජානං යනු දන්නේ ප්‍රකර්‍ෂයෙන් දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ ප්‍රතිජානනය කරන්නේ ප්‍රතිවේධ කරනුයේ, සියලු සංස්කාරයෝ අනිත්‍යහ’යි දන්නේ ප්‍රකර්‍ෂයෙන් දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ ප්‍රතිජානනය කරන්නේ ප්‍රතිවේධ කරනුයේ, සියලු සංස්කාරයෝ දුඃඛහ’යි ... යම් කිසි සමුදය ධර්‍මයෙක් වේ නම් එ හැම නිරුද්ධ වන ස්වභාවය ඇතැ’යි දන්නේ ප්‍රකර්‍ෂයෙන් දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ ප්‍රතිජානනය කරන්නේ ප්‍රතිවේධ කරනුයේ, න උපාදියෙථ යනු: රූපය නො ගන්නේ යැ උපාදානය නො කරන්නේ යැ ග්‍රහණය නො කරන්නේ යැ අභිනිවේශය නො කරන්නේ යැ, වේදනාව- සංඥාව- සංස්කාරයන්- විඥානය- ගතිය- උපප්‍රාප්තිය- ප්‍රතිසන්‍ධිය- භවය- සංසාරය- වර්ත්තය- ආදානය නො කරන්නේ යැ උපාදානය- ග්‍රහණය- පරාමර්‍ශය- අභිනිවේශය නො කරන්නේ නුයි ‘තස්මා පජානං න උපාදියෙථ’ යනු වේ.