12. භද්‍රාවුධ සූත්‍ර නිර්‍දෙශය
12. 1.
(ආයුෂ්මත් භද්‍රාවුධ මෙසේ විචාරයි:) ආලය සඞ්ඛ්‍යාත ඕකය දුරැලූ ෂඩ්විධ තෘෂ්ණාකාය සිඳැලූ, අටලෝ දහම්හි නො සැලෙන, අනාගත ප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත නන්‍දිය දුරැලූ, චතුරෝඝය තරණය කළා වූ, කෙලෙසුන් කෙරෙන් මිදුණු, තෘෂ්ණා-දෘෂ්ටි කල්ප දුරැලූ, ශෝභන ප්‍රඥා ඇති බුදුරදුන් වෙසෙසින් අයදිමි. නාග වූ මුඹ වහන්සේ ගේ වදන් අසා (බොහෝ ජනයෝ) මේ පහණසෑයෙන් නික්ම යෙත්.
ඔකං ජහං තණ්හච්ඡිදං අනෙජං - ‘ඔකං ජහං’ යනු: රූපධාතුයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් අකුසල් සිතට ප්‍රතිෂ්ඨා වූ අභිනිවේශ වූ අනුශය වූ යම් උපය (තෘෂ්ණා-දෘෂ්ටි) උපාදාන කෙනෙක් වෙත් ද ඔහු භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහාණය කරන ලද්දාහු උසුන් (අවිද්‍යා-තෘෂ්ණා) මුල් ඇත්තාහු (මුල් උදුළ) තල්වත්තක් මෙන් කරන ලද්දාහු ආයතිභවයෙහි නූපදනා සැහැවි ඇත්තාහු අනුඅභාවයට ගියාහ. එයින් බුදුහු ඔකඤ්ජහ නම් වෙත්. වේදනා ධාතුයෙහි- සංඥාධාතුයෙහි- සංස්කාර ධාතුයෙහි- විඥානධාතුයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් අකුසල්සිතට ප්‍රතිෂ්ඨා වූ අභිනිවේශ වූ අනුශය වූ යම් උපය උපාදාන කෙනෙක් වෙත් ද ඔහු භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ උසුන් මුල් ඇතියහ මුල් උදුළ තල්වත්තක් මෙන් කරන ලද්දාහු ආයතිභවයෙහි නූපදනා සැහැවි ඇත්තාහු අනු අභාවයට ගියාහ. එයින් බුදුහු ‘ඔකඤ්ජහ’ නම් වෙත්. තණ්හච්ඡිදං - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ... ධර්‍මතෘෂ්ණා යි. ඒ තෘෂ්ණාව භාග්‍යවත් බුදුන් විසින් සිඳින ලද යැ උදුරනලද යැ මොනොවට උදුරනලද යැ සන්හිඳුවන ලද යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධ යැ වටාලා උපදනට නො නිසි කරනලද යැ නුවණගින්නෙන් දවන ලද, එයින් බුදුහු ‘තණ්හච්ඡිද’ නම් වෙති. ‘අනෙජා’ යනු: ‘එජා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ඒ එජා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණ යැ උසුන්මුල් ඇත්තී යැ මුල් උදුළ තල්වත්තක් මෙන් කරන ලද යැ ආයතිභවයෙහි නූපදනා සැහැවි ඇත්තී අනු අභාවයට ගියා යැ. එයින් බුදුහු ‘අනෙජ’ නම් වෙති. එජාව ප්‍රහීණ බැවින් ‘අනෙජ’ යි. බුදුහු ලාභයෙහිදු නො සැලෙති අලාභයෙහි දු නො සැලෙති යසස්හිදු නො සැලෙති අයසස්හි දු නො සැලෙති ප්‍රශංසායෙහිදු නො සැලෙති නින්‍දායෙහි දු නො සැලෙති සුවයෙහිදු නො සැලෙති දුක්හිදු නො සැලෙති චලනය නො වෙති කම්පනය නො වෙති ප්‍රකම්පනය නො වෙති සම්ප්‍රකම්පනය නො වෙත්. එයින් බුදුහු ‘අනෙජ’ නම් වෙත් නුයි ‘ඔකං ජහං තණ්හච්ඡිදං අනෙජං’ යනු වේ. ඉච්චායස්මා භද්‍රා වුධො...
නන්දිං ජහං ඔඝතිණ්ණං විමුත්තං - ‘නන්දි’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. ඒ නන්‍දිය ඒ තෘෂ්ණාව භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණ යැ උසුන් මුල් ඇත්තී යැ මුල් උදුළ තාලවාස්තුවක් මෙන් කරන ලද්දී ආයතිභවයෙහි නූපදනා පියවි ඇත්තී අනු අභාවයට ගියා යැ. එයින් බුදුහු ‘නන්දිඤ්ජහ’ නම් වෙත්. ඔඝතිණ්ණං යනු: බුදුහු කාමෝඝය තරණය කළහ භවෝඝය තරණය කළහ දෘෂ්ටි-ඕඝය තරණය කළහ අවිද්‍යා-ඕඝය තරණය කළහ හැම සංස්කාරපථය තරණය කළහ උත්තරණය කළහ නිස්තරණය කළහ ඉක්මගියහ මොනොවට ඉක්ම ගියහ වෙසෙසින් ඉක්ම සිටියහ උන් වහන්සේ වැස නිමවූ දශආර්‍ය්‍යවාස ඇත්තාහු පුහුණු කළ ශීලාදී චරණ ඇත්තාහු .. (ක්‍ෂය කළ) ජාතිමරණසංසාරය ඇත්තාහු යැ. උන්වහන්සේට පුනර්‍භවයෙක් නැත් නුයි ‘නන්දිං ජහං ඔඝතිණ්ණං’ යනු වේ. විමුත්තං යනු: භාග්‍යවතුන් විසින් රාගයෙන් සිත මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි, ද්වේෂයෙන් සිත-මෝහයෙන් සිත ... හැම අකුශලාභිසංස්කාරයන් කෙරෙන් සිත මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත නු යි ‘නන්දිං ජහං ඔඝතිණ්ණං විමුත්තං’ යනු වේ.
කප්පං ජහං අභියාචෙ සුමෙධං - ‘කප්ප’ යනු: කල්ප දෙකෙකි: තෘෂ්ණාකල්පය ද දෘෂ්ටිකල්පය දැ යි ... මේ තෘෂ්ණා කල්ප යැ .. මේ දෘෂ්ටිකල්ප යි. භාග්‍යවත් බුදුන් විසින් තෘෂ්ණා කල්පය ප්‍රහීණ යැ දෘෂ්ටිකල්පය දුරලන ලද, තෘෂ්ණාකල්පය ප්‍රහාණය කළ වන බැවින් දෘෂ්ටිකල්පය දුරලන ලද වන බැවින් එහෙයින් බුදුහු ‘කප්පං ජහං’ නම් වෙත්. අභියාචෙ යනු: යදිමි, වෙසෙසින් යදිමි, අධ්‍යෙෂණ කෙරෙමි, ආස්වාද කෙරෙමි, ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමි, ඉස්නෙමි, ජල්පනය කෙරෙමි, අභිජල්පනය කෙරෙම්. සුමෙධං යනු: ‘මේධා’ යි ප්‍රඥාව කියනු ලැබෙයි: යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එය යි. බුදුහු මේ මේධා සඞ්ඛ්‍යාත ප්‍රඥායෙන් යුක්ත වූවාහු සමුපේත වූවාහු එළැඹ සිටියාහු අතිශයින් එළැඹ සිටියාහු නො වෙන් වූවාහු පරිපූර්‍ණ වූවාහු සමන්‍වාගත වූවාහු වෙති, එයින් බුදුහු ‘සුමේධ’ නම් වෙත් නුයි ‘කප්පං ජහං අභියාචෙ සුමෙධං’ යනු වේ.
සුත්‍වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො - ‘නාගස්ස’ යනු: බුදුහු නාගයහ: පව් නොකෙරෙත් නුයි නාගයහ (අගතියට) නො යෙත් නුයි නාගයහ (පුහුන් කෙලෙසුන් කරා) නො පැමිණෙත් නුයි නාගයහ ... මෙසෙයින් බුදුහු පෙරළා (පුහුන් කෙලෙසුන් කරා) නො පැමිණෙත් නුයි ‘නාග’ නම් වෙත්. සුත්‍වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො - මුඹ වහන්සේ ගේ වචනය වාඞ්මාර්‍ගය දේශනාව අනුශාසනාව අසා ශ්‍රවණය කොට ඉගෙන විමසා සලකා මෙයින්, අපනමිස්සන්ති - යෙති නික්ම යෙති දසනු දසට යෙත් නුයි ‘සුත්‍වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“ඔකඤ්ජහං තණහච්ඡිදං -පෙ- අපනමිස්සන්ති ඉතො” යි.