12. 2.
වීරයන් වහන්ස, මුඹ වහන්සේගේ වදන් කැමැති වූ නානාජනයෝ අඞ්ගාදි ජනපදයෙන් රැස්වූහු යැ, මුඹ වහන්සේ ඔවුන්ට දහම් දෙසුව මැනැවැ, යම් හෙයෙකින් තෙල දහම් මුඹ වහන්සේ විසින් දන්නා ලද ද එහෙයිනි.
නානා ජනා ජනපදෙහි සඞ්ගතා - ‘නානා ජනා’ යනු: ක්ෂත්රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මනුෂ්‍යයෝ ද, ජනපදෙහි සඞ්ගතා - අඟු රටින් ද මගද රටින් ද කලිඟු රටින් ද කසී රටින් ද කොසොල් රටින් ද වැදෑරටින් ද, මල්ය රටින් ද චේතිය රටින් ද වත්ස රටින් ද කුරුරටින් ද පඤ්චාල රටින් ද මත්ස්‍ය ජනපදයෙන් ද සූරසේන ජනපදයෙන් ද අස්සක රටින් ද අවන්ති රටින් ද යොන් රටින් ද කාම්බෝජ රටින් ද, සඞ්ගතා යනු: එක් වූවාහු රැස්වූවාහු මුළු වූවාහු එක්රැස් වූවාහු නු යි ‘නානා ජනා ජනපදෙහි සඞ්ගතා’ යනු වේ.
තව වීර වාක්යං අභිකඞ්ඛමානා - ‘වීර’ යනු: බුදුහු වීරයහ වීර්‍ය්‍යවත් නුයි වීරයහ ප්‍රභූවූවාහු නුයි වීරයහ විවිධගුණ වහනය කෙරෙත් නුයි වීරයහ සමර්ත්ථ සිත් ඇත්තාහු නුයි වීරයහ ... විගතලොමහර්ෂ ඇත්තාහු නුයි වීරයහ.
1. මෙලොව්හි හැම පාපයන්ගෙන් වෙන් වූයේ (එහෙයින් මැ) නිරෑදුක් ඉක්මසිටී, වීර්‍ය්‍යයට නිවාස වූ, ඒ ක්ෂීණාස්රව තෙම වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. එබඳු වූයේ ප්‍රධන්වීර්‍ය්‍ය ඇත්තේ යැ වීර යැ (නිර්විකාර බැවින්) තාදී යැ යි කියනු ලැබේ.
තව වීර වාක්යං අභිකඞ්ඛමානා - මුඹ වහන්සේ ගේ වචනය වාඞ්මාර්ගය දේශනාව අනුශාසනාව, අභිකඞ්ඛමානා - කැමැති වන්නාහු ඉස්නාහු ආස්වාද කරන්නාහු ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු රුස්නාහු අභිජල්පනය කරන්නාහු නුයි ‘තව වීර වාක්යං අභිකඞ්ඛමානා’ යනු වේ.
තෙසං තුවං සාධු වියාකරොහි - ‘තෙසං’ යනු: ඒ ක්ෂත්රියයන්ගේ බ්‍රාහ්මණයන්ගේ වෛශ්‍යයන් ගේ ශුද්‍රයන් ගේ ගිහියන් ගේ පැවිද්දන්ගේ දෙවියන්ගේ මිනිසුන්ගේ, ‘තුවං’ යි භාග්‍යවතුන් (සඳහා) බෙණෙයි. සාධු වියාකරොහි - මැනැවින් වදාළ මැනැව දෙසනු මැනැව පනවනු මැනැව පිහිටුවනු මැනැව විවරණ කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැවැ යි ‘තෙසං තුවං සාධු වියාකරොහි’ යනු වේ.
තථා හි තෙ විදිතො එස ධම්මෝ - යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම එපරිද්දෙන් දන්නාලද ද තුලනය කරනලද ද තීරණය කරන ලද ද ප්‍රකට කරන ලද ද විභාවන කරන ලද ද එහෙයිනැ යි.
එයින් කී යැ එ බමුණු:
“නානා ජනා ජනපදෙහි -පෙ- තථා හි තෙ විදිතො එස ධම්මෝ” යි.
12. 3.
(බුදුහු මෙසේ වදාළහ: භද්‍රාවුධය,) අතීතානාගතවර්‍තමානයෙහි වූ හැම ආදානතෘෂ්ණාව (තෘෂ්ණොපාදානය) දුරු කරවු, යම් හෙයකින් ලොවැ (අතීතරූපාදි) යම් යම් වස්තුවක් දැඩි කොට ගනිත් ද එහෙයින් මැ ස්කන්ධමාර තෙම සත්ත්වයා අනු වැ යේ.
ආදානතණ්හං විනයෙථ සබ්බං - ‘ආදානතණ්හා’ යි රූපතෘෂ්ණාව කියනු ලැබෙයි .. ආදාන තණ්හා - යි කවර කරුණෙකින් ‘ආදානතණ්හා’ යි කියනු ලැබේ ද යත්: ඒ තෘෂ්ණායෙන් රූපය ආදානය කෙරෙති උපාදානය කෙරෙති ගනිති පරාමර්ශය කෙරෙති අභිනිවේශය කෙරෙත්. වේදනාව- සංඥාව- සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය - ප්රතිසන්ධිය - භවය - සංසාරය වර්තය ආදානය උපාදානය ග්‍රහණය පරාමර්ශය අභිනිවේශය කෙරෙත්. එ කරුණෙන් ‘ආදානතණ්හා’ යි කියනු ලැබේ. විනයෙථ සබ්බං - සියලු ආදානතෘෂ්ණාව හරනේ යැ වෙසෙසින් හරනේ යැ දුරු කරන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනු අභාවයට පමුණු වන්නේ නුයි ‘ආදානතණ්හං විනයෙථ සබ්බං’ යනු වේ. භද්රාවුධා’ ති භගවා......
උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ- ‘උද්ධං’ යි අනාගතය කියනු ලැබෙයි, අධෝ යි අතීතය කියනු ලැබෙයි, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු වර්තමානය යි. උද්ධං යනු දේවලෝක යැ, අධෝ යනු නිරයලෝක යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු මනුෂ්‍යලෝක යි. උද්ධං යනු කුශලධර්‍මයෝ යැ, අධෝ යනු අකුශලධර්‍මයෝ යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු අව්‍යාකෘත ධර්මයෝ යි. උද්ධං යනු සුඛවේදනා යැ, අධෝ යනු දුඃඛවේදනා යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු උපෙක්ෂා වේදනා යි. උද්ධං යනු අරූපධාතු යැ, අධෝ යනු කාමධාතු යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු රූපධාතු යි. උද්ධං යනු පාදතලයෙන් උඩ යැ, අධෝ යනු කේශමස්තකයෙන් යට යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු වෙමධ්‍යයෙහි නුයි ‘උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු වේ.