10. 3.
අපර ප්රතිෂ්ඨා රහිත වූ තෙල ප්රතිෂ්ඨාව (රාගාදි) කිඤ්චන- (පලිබොධ) රහිත යැ ආදාන (තෘෂ්ණා) රහිත යැ ජරාමරණ ව්යුපශමය වූ එය ‘නිවනැ’යි කියමි.
අකිඤ්චනං අනාදානං- ‘කිඤ්චනං’ යනු: රාගකිඤ්චන යැ ද්වේෂකිඤ්චන යැ මෝහකිඤ්චන යැ මානකිඤ්චන යැ දෘෂ්ටිකිඤ්චන යැ ක්ලෙශකිඤ්චන යැ දුශ්චරිතකිඤ්චන යි. කිඤ්චනප්රහාණය කිඤ්චනව්යූපශමය කිඤ්චන දුරැලීම කිඤ්චන සන්හිඳීම අමාමහනිවන නුයි ‘අකිඤ්චන’ නම් වෙයි. අනාදානං යනු ‘ආදාන’යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, එය යි. ආදානප්රහාණය ආදාන ව්යුපශමය ආදාන දුරැලීම ආදාන සන්හිඳීම අමාමහ නිවන නුයි ‘අකිඤ්චනං අනාදානං’ යනු වේ.
එතං දීපං අනාපරං යනු: තෙල ප්රතිෂ්ඨා යැ රක්ෂාස්ථාන යැ නිලීනස්ථාන යැ ශරණ යැ ගති යැ පිහිට යි. අනාපරං යනු: එයින් මතු අන්ය ප්රතිෂ්ඨායෙක් නැති. වැළිත් එ මැ අග්ර වූත් ශ්රේෂ්ඨ වූත් අතිශයින් ශ්රේෂ්ඨ වූත් ප්රමුඛ වූත් උත්තම වූත් ප්රවර වූත් ප්රතිෂ්ඨා වේ නුයි ‘එතං දීපං අනාපරං’ යනු වේ.
නිබ්බානං ඉති නං බ්රෑමි- ‘වාන’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. වානප්රහාණය වානව්යුපශමය වාන දුරැලීම වාන සන්හිඳීම, අමාමහනිවන ඉති යනු: පදසන්ධි යැ පදසංසර්ග යැ පදපරිපූර්ණභාව යැ- අක්ෂරසමවාය යැ ව්යඤ්ජනශ්ලිෂ්ටතා යැ තෙල ‘ඉති’ යනු පදයන්ගේ අනුපූර්වතා ද වෙයි. බ්රෑමි යනු: බ්රෑමි- කියමි දෙසමි පනවමි පිහිටුවමි විවරණය කෙරෙමි විභාග කෙරෙමි පාළ කෙරෙමි ප්රකාශ කෙරෙම් නුයි ‘නිබ්බානං ඉති නං බ්රෑමි’ යනු වේ.
ජරාමච්චු පරික්ඛයං යනු: ජරාමරණයාගේ ප්රහාණය ව්යුපශමය දුරැලීම සන්හිඳීම අමාමහනිවන නුයි ‘ජරාමච්චු පරික්ඛයං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අකිඤ්චනං අනාදානං -පෙ- ජරාමච්චු පරික්ඛයං” යී.
10. 4.
ස්මෘතිමත් වූ දක්නා ලද (අනිත්යාදි) දහම් ඇති යම් රහත් කෙනෙක් තෙල නිවන දැන (ක්ලේශපරිනිර්වාණයෙන්) පිරිනිවියාහු වෙත් ද, ඔහු මාරවශයට ගියාහු නො වෙති. ඔහු මාරයාගේ මඟ යන්නාහු (පරිචාරකයෝ) නො වෙත්.
එතදඤ්ඤාය යෙ සතා- ‘එතං’ යනු: අමාමහනිවන යි. යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිවීමෙක් වේ ද එය යි. අඤ්ඤාය යනු: දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්රකට කොට ‘හැම සංස්කාරයෝ අනිත්යහ’යි ... යම්කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එහැම නිරෝධ ස්වභාවය ඇතැ’යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට. යෙ යනු: අර්හත් ක්ෂීණාස්රවයෝ. සතා යනු: සතර කරුණෙකින් ස්මෘතිමත් වූවාහු: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය භාවිත බැවින් ස්මෘතිමත් වූවාහු ... ඔහු ‘සතා’යි කියනු ලැබෙත් නුයි ‘එතදඤ්ඤාය යෙ සතා’ යනු වේ.