10. 2.
(බුදුහු මෙසේ වදාළහ: කප්පමාණවකය,) මධ්‍ය වූ සසරැ සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනා ලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්‍රතිෂ්ඨාව කප්පය, තොපට කියමි.
මජ්ඣෙ සරස්මිං තිට්ඨතං යනු: ‘සරො’ යි සංසාරය කියනු ලැබෙයි: පෙර භවයෙන් මෙහි ඊම මෙයින් පරලොවට යෑම භවයෙන් භවයට යෑමඊම මරණය ගතිය භවයෙන් භවය ච්‍යුතිය ද උපප්‍රාප්තිය ද නිර්‍වෘතිය ද ස්කන්‍ධයන් ගේ භේදය යද ඉපදීම ද දිරීම ද මරණය දැ යි සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි, පශ්චිම කෙළවර ද නො පැනෙයි. මැද සසර මැ සත්ත්‍වයෝ සිටියාහු පිහිටියාහු ඇලුණාහු එළඹියාහු බැසගත්තාහු අධිමුක්ත වූවාහු වෙත්. කිසෙයින් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනේ ද යත්: ... මෙසේ සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. කිසෙයින් සංසාරයාගේ පශ්චිම කෙළවර නො පැනේ ද යත් ... මෙසෙයින් සංසාරයාගේ පශ්චිම කෙළවර නො පැනෙයි. මෙසෙයින් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි, පශ්චිම කෙළවර ද නො පැනේ. මැද සසර මැ සත්ත්‍වයෝ සිටියාහු පිහිටියාහු ඇලුණාහු එළැඹියාහු බැසගත්තාහු අධිමුක්ත වූවාහු නුයි “මජ්ඣෙ සරස්මිං තිට්ඨතං” යනු වේ. කප්පාති භගවා යනු...
ඔඝෙ ජාතෙ මහබ්භයෙ යනු: කාමෝඝය භවෝඝය දිට්ඨෝඝය අවිජ්ජෝඝය උපන් කල්හි හටගත් කල්හි නිපන් කල්හි වෙසෙසින් නිපන් කල්හි පහළ වූ කල්හි. මහබ්භයෙ යනු: ජාතිභය ජරාභය ව්‍යාධිභය මරණභය ඇති කල්හි නුයි ‘ඔඝෙ ජාතෙ මහබ්භයෙ’ යනු වේ.
ජරාමච්චු පරෙතානං යනු: ජරායෙන් පහස්නා ලදුවනට මඩනා ලදුවනට යුක්තයනට සමන්වාගතයනට මරණයෙන් පහස්නා ලදුවනට මඩනා ලදුවනට යුක්තයනට සමන්වාගතයනට ජාතියෙන් අනුගියවුනට ජරාව විසින් ලුහුබඳනා ලදුවනට ව්‍යාධියෙන් මඩනා ලදුවනට මරණයෙන් පහරන ලදුවනට රක්‍ෂාස්ථාන රහිතයනට නිලීනස්ථාන රහිතයනට අශරණයනට අශරණීභූතයනට නුයි ‘ජරාමච්චු පරෙතානං යනු වේ.
දීපං පබ්‍රෑමි කප්ප තෙ යනු: ප්‍රතිෂ්ඨාව රක්ෂාස්ථානය නිලීනස්ථානය ශරණය ගතිය පිහිට බ්‍රෑමි- කියමි දෙසමි පනවමි පිහිටුවමි විවරණය කෙරෙමි විභාග කෙරෙමි පාළ කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි “දීපං පබ්‍රෑමි කප්ප තෙ” යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“මජ්ඣෙ සරස්මිං -පෙ- දීපං පබ්‍රෑමි කප්ප තෙ” යී.
10. 3.
අපර ප්‍රතිෂ්ඨා රහිත වූ තෙල ප්‍රතිෂ්ඨාව (රාගාදි) කිඤ්චන- (පලිබොධ) රහිත යැ ආදාන (තෘෂ්ණා) රහිත යැ ජරාමරණ ව්‍යුපශමය වූ එය ‘නිවනැ’යි කියමි.
අකිඤ්චනං අනාදානං- ‘කිඤ්චනං’ යනු: රාගකිඤ්චන යැ ද්වේෂකිඤ්චන යැ මෝහකිඤ්චන යැ මානකිඤ්චන යැ දෘෂ්ටිකිඤ්චන යැ ක්ලෙශකිඤ්චන යැ දුශ්චරිතකිඤ්චන යි. කිඤ්චනප්‍රහාණය කිඤ්චනව්‍යූපශමය කිඤ්චන දුරැලීම කිඤ්චන සන්හිඳීම අමාමහනිවන නුයි ‘අකිඤ්චන’ නම් වෙයි. අනාදානං යනු ‘ආදාන’යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, එය යි. ආදානප්‍රහාණය ආදාන ව්‍යුපශමය ආදාන දුරැලීම ආදාන සන්හිඳීම අමාමහ නිවන නුයි ‘අකිඤ්චනං අනාදානං’ යනු වේ.