7. නන්‍ද මාණවක පෘච්ඡා
7-1. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) ‘ලොවැ මුනීහු ඇත්තාහ’යි ජනයෝ කියති. එය කෙසේ ද? (සමාපත්ති-අභිඥා) ඥානයෙන් සමුපේත වූවහු ‘මුනි’ යැයි කියත් ද? නොහොත් රූක්‍ෂ ජීවිතයෙන් සමුපේත වූවහු ‘මුනි’ යැ යි කියත් ද?
7-2. (බුදුහු මෙසේ වදාළහ: නන්‍දය,) මෙ සස්නෙහි (ස්කන්‍ධාදියෙහි) දක්‍ෂයෝ දෘෂ්ටියෙන් ශ්‍රැතියෙන් ඥානයෙන් ‘මුනි’ යැයි නො කියති. යම් කෙනෙක් කෙලෙස් සෙනඟ නසා (රාගාදි) ව්‍යසන රහිත වැ ආශා රහිත වැ හැසිරෙත් නම් ඔහු ‘මුනීහු’ යැ යි මම කියමි.
7-3. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, යම් කිසි මහණ බමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය (මුක්තිය) කියත් නම් ශීල ව්‍රතයෙනුදු ශුද්ධිය කියත් නම්, අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් නම්, නිදුකාණන් වහන්ස, කිම ඔහු (ඒ දෘෂ්ටිගතිකයෝ) ඒ දෘෂ්ටියෙහි ගුප්ත වැ වසන්නාහු ජාතිය ත් ජරාව ත් තරණය කළාහු ද? භාග්‍යවතුන් වහන්ස මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනැව.
7-4. (බුදුහු මෙසේ වදාළහ: නන්‍දය,) යම් කිසි මේ මහණ බමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය කියත් ද ශීල ව්‍රතයෙනුදු ශුද්ධිය කියත් ද, අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද, වැළිත් ඔහු ඒ දෘෂ්ටියෙහි ගුප්ත වැ වෙසෙත් නම් ජාතියත් ජරාවත් තරණය නො කළාහ’ යි කියමි.
7-5,6. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, යම් කිසි මේ මහණබමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය කියත් ද, ශීලව්‍රතයෙනුදු, ශුද්ධිය කියත් ද අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද මුනීන්‍ද්‍රයන් වහන්ස, ඉදින් ඒ දෘෂ්ටි ගතිකයන් ඕඝ තරණය නො කළවුනැ’යි වදාරන්න වු නම්, නිදුකාණන් වහන්ස, වැළිත් දෙව්මිනිස් ලොවැ කවරෙක් ජාතිය ත් ජරාව ත් තරණය කෙළේ ද? භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනැවි.
7-7. (බුදුහු මෙසේ වදාළහ: නන්‍දය,) මම් හැම මහණ බමුණහු ජාති ජරා විසින් අවුරන ලදහ’යි නො කියමි. මෙලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටිශුද්ධිය ද ශ්‍රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද හැරපියා හැම අනේකවිධ කොතුහලමඞ්ගල ශුද්ධිය ද හැරපියා තෘෂ්ණාව පිරිසිඳ දැන අනාස්‍රව වූවාහු ද එ සත්හු ඒකාන්තයෙන් ඕඝතරණය කළාහ යි කියමි.