6. උපසීව මාණව පෘච්ඡා
6-1. (ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, එකලා වූ මම් (කිසි පුඟුලකු හෝ දහමක් හෝ) ඇසුරු නො කෙළෙම් මහත් වූ (කාමාදි) ඕඝය තරණය කරන්නට නො හැකි වෙමි. සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, (යම් පුඟුලකු හෝ දහමක් ඇසුරු කෙළෙම්) මේ කෙලෙස් වතුරු තරණය කෙරෙම් නම් ඒ නිශ්‍රය වදාළ මැනැවි.
6-2. (බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) සිහි ඇතියෙහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය (අනිත්‍යාදි විසින්) දක්මින් ‘නත්‍ථි කිඤ්චී’යි පැවැති ඒ සමවත ඇසුරු කොට චතුරෝඝය තරණය කර. වස්තුකාම ක්ලේශකාම හැරපියා කථංකථා සඞ්ඛ්‍යාත විචිකිත්සායෙන් වැළැකුණෙහි රෑදාවල්හි තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන විභූත කොට දක්නෙහි.
6-3. (ආයුෂ්මත් උපසීව මාණවක මෙසේ විචාරයි:) යමෙක් සියලු කාමයන්හි පහ වූ රාග ඇතියේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙළේ උත්තම වූ සංඥාවිමෝක්‍ෂයෙහි ඇලුණේ නම් හෙතෙම ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි වියෝගයට නො යන සුලු වැ සිටිනේ ද?
6-4. (බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) යමෙක් සියලු කාමයන්හි වීතරාග වූයේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙළේ උත්තම වූ සංඥා විමෝක්‍ෂයෙහි ඇලුණේ නම් හෙතෙම (එයින්) නො පිරිහෙමින් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි (කප්සැටදහසක්) සිටිනේ යි.
6-5. (ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, ඉදින් හෙතෙම එයින් නො පිරිහෙන සුලු වූයේ නොයෙක් හවුරුදු සියදහස් ගණන් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි සිටිනේ නම් හෙතෙම එහි මැ දුකින් මිදුණේ ශීතිභාවයට පැමිණියේ එහි මැ සිටිනේ ද එබඳු වූවහු ගේ විඥානය එහි මැ පිරිනිවේ ද?
6-6. (බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) වාතවේගයෙන් බැහැර කරන (නිවන) ලද ගිනිසිළෙක් යම්සේ අස්තයට යේ ද, (නිවේ ද,) (අසෝ දිගට ගියේ යැ යි) ව්‍යවහාරයට නොයේ ද, එසෙයින් මැ (එහි උපන්) ශෛක්‍ෂමුනි තෙම නාම කයින් මිදුණේ අස්තයට යෙයි. ක්‍ෂත්‍රියා දි ව්‍යවහාරයට නො යෙයි.
6-7. (ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) (මුනීන්‍ද්‍රයන් වහන්ස,) ඒ පුද්ගල තෙම අස්තයට ගියේ (නිරුද්ධ වූයේ) නොහොත් අවිද්‍යමාන වූයේ ද? නොහොත් ඒකාන්තයෙන් ශාශ්වතභාවයෙන් අරෝග වූයේ (අවිපරිණාම ස්වභාව, ඇත්තේ) සිටිනේ ද? මුනීන්‍ද්‍රයන් වහන්ස, එය මට මැනැවින් ප්‍රකාශ කළ මැනැව. යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද ද එහෙයිනි.
6-8. (බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවියාහට (රූපාදි) ප්‍රමාණයෙක් නැත. (රාගාදි) යමෙකින් ඔහුට කියන්නාහු නම් එය ඔහුට නැත. (ස්කන්‍ධාදි) සියලු දහම් නැසූ කල්හි හැම (ක්ලේශාදි) වාදපථයෝ ද නසන ලදහ’යි.
උපසීව මාණවක පෘච්ඡා නිමි.
7. නන්‍ද මාණවක පෘච්ඡා
7-1. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) ‘ලොවැ මුනීහු ඇත්තාහ’යි ජනයෝ කියති. එය කෙසේ ද? (සමාපත්ති-අභිඥා) ඥානයෙන් සමුපේත වූවහු ‘මුනි’ යැයි කියත් ද? නොහොත් රූක්‍ෂ ජීවිතයෙන් සමුපේත වූවහු ‘මුනි’ යැ යි කියත් ද?
7-2. (බුදුහු මෙසේ වදාළහ: නන්‍දය,) මෙ සස්නෙහි (ස්කන්‍ධාදියෙහි) දක්‍ෂයෝ දෘෂ්ටියෙන් ශ්‍රැතියෙන් ඥානයෙන් ‘මුනි’ යැයි නො කියති. යම් කෙනෙක් කෙලෙස් සෙනඟ නසා (රාගාදි) ව්‍යසන රහිත වැ ආශා රහිත වැ හැසිරෙත් නම් ඔහු ‘මුනීහු’ යැ යි මම කියමි.