5. ධෝතක මාණව පෘච්ඡා
5-1. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි, තෙල වදාළ මැනැව. මහර්ෂීන් වහන්ස, මුඹ වහන්සේ ගේ වදන් රුස්නෙමි. මුඹ වහන්සේ ගේ ධර්‍මනිර්ඝෝෂය අසා තමාගේ (රාගාදිය) නිවනු සඳහා (අධිශීලාදියෙහි) හික්මෙන්නෙමි.
5-2. (බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) එසේ වී නම් මෙහි ම නුවණැති වැ සිහි ඇති වැ උත්සාහ කරව. මෙහි මාගේ වචන අසා තමාගේ කෙලෙස් නිවනු පිණිස (ත්‍රිවිධ ශික්‍ෂාහි) හික්මෙන්නේ යැ.
5-3. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) මම දෙව් මිනිස් ලොවැ හැසිරෙන පලිබොධ රහිත වූ (බාහිතපාපී හෙයින්) බ්‍රාහ්මණ වූ දෙවාති දේවයන් දකිමි. සමතැස් ඇතියාණෙනි. එබඳු වූ මුඹ වහන්සේ නමදිමි. ශාක්‍යයන් වහන්ස, විචිකිත්සායෙන් මා මුදනු මැනැව.
5-4. (බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) ලොවැ විචිකිත්සා ඇති කිසිවකු මුදන්නට මම නො හැක්කෙමි, නොහොත් උත්සාහ නො කෙරෙමි. තෙපි ශ්‍රේෂ්ඨ ධර්‍මය (නිවන) දන්මින් මෙසේ මේ ඕඝය තරණය කරන්නවු යැ.
5-5. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) ශ්‍රේෂ්ඨයන් වහන්ස, මම යම් සියලු සංස්කාරයන්ගෙන් විවික්ත වූ නිර්‍වාණ ධර්‍මයක් දැනගන්නෙම් නම් යම්සේ මම් ආකාශය සෙයින් නානාප්‍රකාර බවට නො පැමිණෙන්නෙම්, මෙ අස්නෙහි මැ හුන්නෙම් නොහොත් නිවුනෙම්, (තෘෂ්ණා-දෘෂ්ටි) නිශ්‍රය රහිත වැ හැසිරෙන්නෙම් නම් එසෙයින් (මට) අනුකම්පා කෙරෙමින් අනුශාසන කළ මැනව.
5-6. (බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නා ලද දුඃඛාදි ධර්‍මයෙහි නොහොත් මෙ අත්බව්හි මැ ආත්මප්‍රත්‍යක්‍ෂ වූ යම් දහමක් දැන ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ නිර්‍වාණ ධර්‍මය (ද නිර්‍වාණගාමිනී ප්‍රතිපද් ධර්‍මය ද) තොපට ප්‍රකාශ කරන්නෙමි.
5-7. (ආයුෂ්මත් ධෝතක මෙසේ කී:) මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැන ලොවැ විසත්තිකා (තෘෂ්ණා) ව තරණය කරන්නේ නම් මම මුඹ වහන්සේ ගේ ඒ ධර්මද්‍යොතක වචනය ද රුස්මි, උත්තම වූ ඒ ශාන්තිය ද රුස්මි.
5-8. (බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) (අනාගතකාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්‍තමාන කාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්‍ම ජාතයක් තෙපි දන්නවු නම් තෙල ලොවැ සඞ්ග (ලග්නා තැන) යැ යි දැනැ කුදුමහත් භවයෙහි තෘෂ්ණා නො කරව යි.
ධෝතක මාණව පෘච්ඡා නිමි.
6. උපසීව මාණව පෘච්ඡා
6-1. (ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, එකලා වූ මම් (කිසි පුඟුලකු හෝ දහමක් හෝ) ඇසුරු නො කෙළෙම් මහත් වූ (කාමාදි) ඕඝය තරණය කරන්නට නො හැකි වෙමි. සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, (යම් පුඟුලකු හෝ දහමක් ඇසුරු කෙළෙම්) මේ කෙලෙස් වතුරු තරණය කෙරෙම් නම් ඒ නිශ්‍රය වදාළ මැනැවි.
6-2. (බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) සිහි ඇතියෙහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය (අනිත්‍යාදි විසින්) දක්මින් ‘නත්‍ථි කිඤ්චී’යි පැවැති ඒ සමවත ඇසුරු කොට චතුරෝඝය තරණය කර. වස්තුකාම ක්ලේශකාම හැරපියා කථංකථා සඞ්ඛ්‍යාත විචිකිත්සායෙන් වැළැකුණෙහි රෑදාවල්හි තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන විභූත කොට දක්නෙහි.
6-3. (ආයුෂ්මත් උපසීව මාණවක මෙසේ විචාරයි:) යමෙක් සියලු කාමයන්හි පහ වූ රාග ඇතියේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙළේ උත්තම වූ සංඥාවිමෝක්‍ෂයෙහි ඇලුණේ නම් හෙතෙම ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි වියෝගයට නො යන සුලු වැ සිටිනේ ද?
6-4. (බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) යමෙක් සියලු කාමයන්හි වීතරාග වූයේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙළේ උත්තම වූ සංඥා විමෝක්‍ෂයෙහි ඇලුණේ නම් හෙතෙම (එයින්) නො පිරිහෙමින් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි (කප්සැටදහසක්) සිටිනේ යි.